Friday, April 7, 2023

📌 මාක්ස්වාදය කාල් මාක්ස් (1818-1883)

       


  ජර්මනියේ රයින්ලන්තයේදී 1818 දී නීතිඥයකු වූ යුදෙව් ජාතික පියෙකුට හා ජර්මන් ජාතික මවකට දාව කාල්මාක්‌ස්‌ උපත ලැබීය. බර්ලින් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීති විද්‍යාව, දර්ශනය හා ඉතිහාසය හැදෑරීය. 1842 දී ක්‌ලෝන්වල (Clogne) පුවත්පතක (Rheinishe Zeitung) කර්තෘ මණ්‌ඩලයට බැඳුණි.එහෙත් 1843 දී පර්සියා රජය එම පුවත්පත මර්දනය කළ අතර ඉන්පසු කාල්මාක්‌ස්‌ ප්‍රංශයට පැමිණියේය. එහිදී ඔහුට සමාජවාදී චින්තකයකු වන ප්‍රොදැන් (Prond hon) රුසියානු අරාජිකවාදියකු වූ බකුනින් (Bakunin) සහ ප්‍රෙඩ්රිග් ඒංගල් (Fredrich Engle) මුණ ගැසිණි. 1845 දී ඔහු ප්‍රංශයෙන්ද ප්‍රසියානු ආණ්‌ඩුවේ මැදිහත්වීම මත නෙරපා හරින ලද අතර ඉන්පසු බ්‍රසල්ස්‌වලට පැමිණි මාක්‌ස්‌ ඒංගල්ස්‌ගේ සහාය ඇතිව 1848 දී "කොමියුනිස්‌ට්‌ ප්‍රකාශය" ප්‍රකාශයට පත් කළේය. 1849 දී බ්‍රසල්ස්‌ වලින් ද මාක්‌ස්‌ නෙරපා හැරි අතර ඉන්පසු ලන්ඩනයට පැමිණි ඔහු 1883 මියයන තෙක්‌ම ලන්ඩනයේ ජීවත් විය කාල්මාක්‌ස්‌ගේ විෂය පථය නිශ්චිත එක්‌ විෂයක්‌ කරා සීමා වූ එකක්‌ නොවීය. ආර්ථික විද්‍යාව, දේශපාලන වද්‍යාව, ඉතිහාසය, දර්ශනය, නීතිය, සමාජ විද්‍යාව ආදී බොහෝ විෂය ක්‍ෂේත්‍ර ඔස්‌සේ ඔහුගේ අදහස්‌ පැතිර යන්නට විය.


          "ලෝකයේ බිහිවූ දාර්ශනිකයන් බොහෝ විට කළේ පවතින තත්ත්වය අර්ථකථනය කිරීමයි. එහෙත් අපගේ අරමුණු පවතින ලෝකය වෙනස්‌ කිරීමයි."


          කාල් මාක්‌ස්‌ කර ඇති මේ ප්‍රකාශය තුළින් ඔහුගේ දර්ශනය තුළ ඇති නැවුම් බව හඳුනා ගත හැක. සම්ප්‍රදායික තත්ත්වයෙන් ඔබ්බට ගොස්‌ නව ආරකට ලෝකය අර්ථකථනය කිරීම මාක්‌ස්‌ විසින් සිදු කර ඇත. ඔහුගේ සමාජ දර්ශනය ස්‌වයංජාත එකක්‌ නොවීය. එවකට සමාජ, ආර්ථික, දේශපාලනික ක්‍රියාකාරිත්වය තුළ සිදුවූ වෙනස්‌කම් හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ කරන ලද අධ්‍යයනය තුළින් මාක්‌ස්‌ තම දර්ශනය ඉදිරිපත් කරන ලදී. ඔහුගේ යුගයේදී ලෝකය තුළ ධනවාදය උග්‍රව පැතිර ගොස්‌ තිබිණි. ධනවාදයේ අතුරුඵල ලෙස බිහි වූ සමාජ ගැටුම් සමාජය වෙලා ගෙන තිබිණි. විශේෂයෙන්ම ධනපතියන් විසින් කම්කරුවන් උග්‍ර ලෙස සූරාකෑම හේතු කර ගෙන ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබිණි. ඔවුන්ගේ ජීවන ක්‍රමය අතිශය වේදනාකාරී හා කර්කශ එකක්‌ විය. මේ තත්ත්වය දෙස බැලූ ඇතැම් දාර්ශනිකයන් මේ ක්‍රමය තුළ යම් අසාධාරණයක්‌ ඇති බවත් මෙවැනි තත්ත්වයක්‌ ඇති වන්නේ පෞද්ගලික දේපළ ක්‍රමය නිසාවෙන් බවත්, එබැවින් පොදු දේපළ ක්‍රමයක අවශ්‍යතාව පිළිබඳ මත දක්‌වන්නට විය. එහෙත් එවැනි ක්‍රමයක්‌ ඇතිවූයේ ඇයිද යන්නත් එම ක්‍රමය වෙනස්‌ කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් ඔවුන් සතු ක්‍රමයක්‌ නොවීය. රොබට්‌ ඖවන්, චාල්ස්‌ පූරියේ, සෙන්සිමෝ ආදීන් මෙවැනි මතධාරීන් විය. පසු කලක මාක්‌ස්‌ මොවුන් මනෝරාජිත සමාජවාදීන් ලෙස හැඳින් වූයේ පෙර කී ලෙස සමාජ අසාධාරණයක්‌ ඇතැයි ඔවුන් හඳුනා ගත්ත ද එය විද්‍යාත්මකව අවබෝධ කර ගැනීමට ඔවුන්ට නොහැකි වූ නිසාවෙනි.එහෙත් කාල්මාක්‌ස්‌ කොමියුනිස්‌ට්‌ ප්‍රකාශය නම් කෘතිය ඒංගල්ස්‌ සමඟ එක්‌ව 1848 දී ප්‍රකාශ කිරීමත් සමඟ මෙම සමාජ යථාර්ථය ලෝකයට ඉදිරිපත් කරන ලදී. එහිදී එම යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා එම වකවානුව තුළ දැකිය හැකි වූ ජර්මන් දර්ශනය ප්‍රංශ විප්ලවකාරී දේශපාලනය හා එංගලන්ත අර්ථ ක්‍රමය යන කරුණු ඔහුගේ අධ්‍යයනය සඳහා බෙහෙවින් දායක විය.


          මාක්‌ස්‌ මෙම මූලික පදනමේ සිට තම ජීවිත කාලය පුරා ඉදිරිපත් කළ කරුණු විශේෂයෙන්ම 1950 පසු විෂයක්‌ ලෙස පෝෂණය වූ දේශපාලන සමාජ විද්‍යාව විෂය කෙරෙහි ද සුවිශේෂී දායකත්වයක්‌ ලබාදී ඇත. සාටෝරි ප්‍රකාශ කළ ආකාරයට ද දළ වශයෙන් දේශපාලන සමාජ විද්‍යාව ලෙස හඳුන්වන්නේ දේශපාලන විද්‍යවේත් සමාජ විද්‍යාවේත් විෂයාත්මක එකතුවකි. එම විෂය පෝෂණය වීම කෙරෙහි දේශපාලන හා සමාජය එක්‌කොට දැක්‌වූ අර්ථකථනය බෙහෙවින් ඉවහල් වේ. ඒ හේතු කොට ගෙන දේශපාලන සමාජ විද්‍යාව තුළ සුවිශේෂී තැනක්‌ කාල් මාක්‌ස්‌ගේ මතවාදය වෙත ලැබේ.මේ තත්ත්වය තුළ දේශපාලන සමාජ විද්‍යාව පෝෂණය වීම උදෙසා කාල් මාක්‌ස්‌ගෙන් ලත් න්‍යායික දායකත්වය මෙසේ දැක්‌විය හැක.


·       අපෝහක භෞතිකවාදය

·       ඓතිහාසික භෞතිකවාදය

·       පංති විග්‍රහය

·       ගැටුම්වාදී න්‍යාය

·       පරාරෝපණය පිළිබඳ මතවාදය

·       පදනම හා උපරිව්‍යුහය

·       ආගම පිළිබඳ මතවාදය


 


👉අපෝහක භෞතිකවාදය (Dialectical method)


          අපෝහක භෞතිකවාදය නැතහොත් ද්විඝට්‌ටනාත්මක භෞතිකවාදය මාක්‌ස්‌වාදයේ මූලික හරය ලෙස සැලකුවද ගැටලුවක්‌ නැත. මන්ද මාක්‌ස්‌ සමාජ ක්‍රමය පිළිබඳ මතවාදය ඉදිරිපත් කළේ මෙම අපෝහක භෞතිකවාදය මත න්‍යය ගත වෙමිනි. කාල් මාක්‌ස්‌ මෙම මතවාදය පළ කිරීමට පෙර ජර්මන් ජාතික මහාචාර්ය හෙගල්ගේ අනුගාමිකයකු විය. අපෝහකවාදය නැතහොත් ද්විඝට්‌ටනාත්මකවාදය මුලින්ම ඉදිරිපත් කළේ හෙගල්ය. එහෙත් ඔහුගේ මතවාදය වූයේ මෙය විඥනය පදනම් කර ගෙන සිදුවන බවයි. මිනිසාගේ සිත තුළ ඇතිවන වෙනස්‌කම් හේතු කරගෙන වෙනස්‌කම් සිදුවෙනවා යන මතය හෙගල් දැරීය.


ඔහුට අනුව විඥනය තුළ


·       ප්‍රවාදය

·       ප්‍රතිවාද‍ය

·       සහවාදය


                                  යනුවෙන් අවස්‌ථා තුනක්‌ ඇතිවේ. එනම් ඇතිවන මතය ප්‍රවාදයයි. එයට විරුද්ධ මතයක්‌ ඒ මත ඇතිවේ. එය ප්‍රතිවාදයයි. මෙම මත දෙක ගැටීම තුළින් සහවාදය නැතහොත් නව මතවාදයක්‌ ඇතිවේ. යම් දිනක එය ප්‍රවාදයක්‌ බවට පත්වේ. මේ ආකාරයට ගමන් කරන මතවාදයේ අවසාන ඵලය රාජ්‍ය වන බව හෙගල් දැක්‌වීය. එහෙත් විඥන වාදය තුළ ඇතිවන්නක්‌ බව ඔහුගේ මතය විය. එහෙත් මාක්‌ස්‌ තම ගුරුවරයා ඉදිරිපත් කළ අපෝහකවාදය පිළිගත්ත ද එයට විඥනයේ බලපෑම පිළිගත්තේ නැත. ඔහු ප්‍රකාශ කළේ එය විඥන වාදය තුළ ඇතිවන්නක්‌ නොව භෞතිකව සිදුවන කරුණක්‌ බවයි. එහිදී පුවේබාච්ගේ භෞතිකවාද මතාන්තර ද එකතු කර ගනිමින් කාල්මාක්‌ස්‌ තම අපෝහක භෞතිකවාදී මතය ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහුගේ මතවාද ඉදිරිපත් කිරීම සඳහා තම මිතුරා වූ ඒංගල්ස්‌ගෙන් ලද සහාය ද වැදගත් වේ. මෙහිදී මාක්‌ස්‌ගේ මතය වූයේ අපෝහකත්වය ක්‍රියාත්මක වන්නේ විඥනය තුළ නොව භෞතිකත්වය තුළයි. මාක්‌ස්‌ වරක්‌ පැවසුවේ තම ගුරුවරයා වන හෙගල් ඔළුවෙන් සිට ගෙන ලෝකය දෙස බලන බවත් තමන් ඔහු දෙපසින් සිට වූ බවත්ය.එහෙත් මාක්‌ස්‌ හෙගල් ඉදිරිපත් කළ ද්විඝට්‌ටනාත්මක ක්‍රමයේ මූලික සිද්ධාන්ත තුන පිළිගන්නා ලදී.


1.     ප්‍රතිවිරෝධය පිළිබඳ නියමය

2.     ප්‍රමාණය ගුණය බවට පත්වීමේ න්‍යාය

3.     නිශේධයේ නිශේධය පිළිබඳ න්‍යාය


          ප්‍රතිවිරෝධය පිළිබඳ න්‍යාය තුළින් මාක්‌ස්‌ දැක්‌වූයේ විශ්වයේ සෑම දෙයකටම ප්‍රතිවිරෝධීතාවක්‌ නැතහොත් විරුද්ධ දෙයක්‌ හෝ කිහිපයක්‌ ඇති බවයි. උදාහරණ ලෙස වහල් යුගයේ ප්‍රතිවිරෝධය වහල් හිමියා හා වහලා අතර ඇති බව දැක්‌වේ. මෙම ප්‍රතිවිරෝධතා ප්‍රධාන ප්‍රතිවිරෝධතා හා අප්‍රධාන ප්‍රතිවිරෝධතා මෙන්ම සතුරු ප්‍රතිවිරෝධතා හා මිතුරු ප්‍රතිවිරෝධතා ලෙස වර්ග කළ හැකිය. එහිදී යම් සමාජයකට කරනු ලබන බලපෑම් ප්‍රමාණය මත ප්‍රධාන හා අප්‍රධාන ප්‍රතිවිරෝධතා බෙදිය හැකි අතර සමාන සමාජ පන්ති අතර ඇතිවන ගැටලු මිතුරු ප්‍රතිවිරෝධතා ලෙසත් විරුද්ධ සමාජ පන්ති අතර ප්‍රතිවිරෝධය සතුරු ප්‍රතිවිරෝධය ලෙස දැක්‌විය හැකිය.


          ප්‍රමාණය ගුණය බවට පත්වීමේ න්‍යාය තුළදී මාක්‌ස්‌ දැක්‌වූයේ සමාජය නිතරම වෙනස්‌ වෙමින් පවතී. මේ තත්ත්වය මුලින් ප්‍රමාණාත්මකව සිදුවන අතර පසුව එය ගුණාත්මක වෙනසක්‌ බවට පත්වේ. උදාහරණ ලෙස රු. 50/- ඇති අයකු රු. 100/- බවටත් රු. 200/- බවටත් පත් කර ගනී. එහෙත් එය ක්‍රමිකව වර්ධනය කර ගනිමින් ඔහු මහා ධනපතියකු විය හැකිය. විශාල ප්‍රාග්ධනයකට හිමිකම් කිව හැකිය. මේ තත්ත්වය ගුණාත්මක වෙනසකි.ධනවාදී සමාජ තුළ ධනපති පංතිය හා නිර්ධන කම්කරු පන්ති අතර සුළු ප්‍රමාණයේ ගැටුම්, වැඩවර්ජන ඇතිවේ. එය ප්‍රමාණාත්මක තත්ත්වයකි. එහෙත් නිර්ධන පන්ති මහා විප්ලවයක්‌ තුළින් ඇති වන සමාජ වෙනස්‌වීම ගුණාත්මක වෙනසකි.


          නිශේධයේ නිශේධය පිළිබඳ න්‍යාය තුළ දක්‌වන්නේ සෑම දෙයක්‌ම පැරණි වීම, වෙනස්‌ වීම, විනාශ වීම සිදුවන බවයි. එම පැරණි දේ විනාශ කරමින් නව දෙයක්‌ ඇතිවේ. වැඩ වසම් ක්‍රමය වෙනස්‌ වෙමින් ධනපති ක්‍රමය නිර්මාණය වේ. එහෙත් මේ තත්ත්වය තුළදී පැරණි සමාජ ක්‍රමයේ ලක්‍ෂණ නව සමාජය තුළ දැකිය හැකි බව අවබෝධ කර ගත යුතුය. ධනවාදී සමාජය තුළ ද වැඩවසම් ලක්‍ෂණ ක්‍රියාත්මක වීම උදාහරණ වේ.ලෝකය තුළ ලිබරල්වාදය ධනවාදී ආර්ථි ක්‍රමවේදය ද සමඟ ව්‍යාප්ත වූ අතර එයට ප්‍රතිවිරෝධයක්‌ ලෙස සමාජවාදය බිහි විය. නැතහොත් ලිබරල්වාදය විවේචනය කරමින් සමාජවාදය බිහි විය. මේ මතවාද දෙක තුළ ඇති වූ ප්‍රතිවිරෝධී ගැටුම් තුළින් පැසිස්‌ට්‌වාදය බිහි විය. මන්ද පැසිස්‌ට්‌වාදය සඳහා ලිබරල්වාදීන්ගේ මෙන්ම සමාජවාදීන්ගේ න්‍යයත් හේතු විය. විශේෂයෙන්ම සමාජවාදී මතාන්තර ජාතිකවාදී සමාජවාදය නමින් ඉදිරිපත් කරමින් ඔවුන් ලෝකය තුළ සිදු කළ විනාශය සුළුපටු නොවේ.


          මේ ආකාරයට බලන විට මාක්‌ස්‌වාදී දර්ශනය තුළ දේශපාලනික වශයෙන් සමාජය හඳුනා ගැනීමත් එය වෙනස්‌ වීම සඳහා මූලික න්‍යයගත ක්‍රමවේදය ලෙස අපෝහක භෞතිකවාදී න්‍යය හඳුනාගත හැකි අතර ඒ තුළින් දේශපාලනික සමාජය හඳුනා ගැනීමට හැකිවීම හේතු කොට ගෙන මාක්‌ස්‌ගේ අපෝහක භෞතිකවාදය තුළින් දේශපාලන සමාජ විද්‍යෙව නම් විෂය පෝෂණය විය.


👉ඓතිහාසික භෞතිකවාදය (Historical Materialism)


          දේශපාලන සමාජ විද්‍යාව නම් විෂය පෝෂණය උදෙසා කාල්මාක්‌ස්‌ ගෙන් සිදු වූ තවත් න්‍යායාත්මක දායකත්වයක්‌ ලෙස ඓතිහාසික භෞතිකවාදී  න්‍යය දැක්‌විය හැක. එහිදී ලෝකයේ ඉතිහාසය තුළ සමාජ ක්‍රමයේ විකාශනය ඉදිරිපත් කළ අතර සමාජ ක්‍රමයේ අනාගත ක්‍රියාකාරීත්වය ද දක්‌වා ඇත. මාක්‌ස්‌ විසින් රචනා කළ "දේශපාලන අර්ථ ශාස්‌ත්‍රය පිළිබඳ විවේචනයක (Critique of political economy), ග්‍රන්ථය තුළ ඔහු තම ඓතිහාසික භෞතිකවාදී චින්තනය ඉදිරිපත් කර ඇත.ඓතිහාසික භෞතිකවාදය තුළින් කරුණු දක්‌වමින් මාක්‌ස්‌ පෙන්වා ඇත්තේ ඉතිහාසය යනු පුද්ගල චරිත, ඉතිහාස කතා, වීර චරිත හා ආගමික පුරාවෘත තුළ හඳුනාගත හැක්‌කක්‌ නොවන බවත් සමාජයේ ඇතිවන ආර්ථික වෙනස්‌ කිරීමෙන් බවයි. නැතිනම් නිෂ්පාදන ක්‍රමවේදය තුළ ඇති වන වෙනස්‌වීමක්‌ බවයි. මිනිස්‌ ඉතිහාසය තුළ මිනිස්‌ සබඳතා දෙයාකාර බව හඳුනා ගනී. එනම් ,


·       නිෂ්පාදන බලවේග

·       නිෂ්පාදන සබඳතා


          නිෂ්පාදන බලවේග යනු මිනිස්‌ ශ්‍රමය ප්‍රමුඛ නිෂ්පාදන සඳහා යොදා ගන්නා සම්පත්, මිනිස්‌ දැනුම හා තාක්‍ෂණය ආදියයි. නිෂ්පාදන සබඳතා යනු නිෂ්පාදන ක්‍රිවලියේදී මිනිසුන් අතර ඇති කර ගන්නා සමාජීය සබඳතාවයන්ය. නැතිනම් නිර්ධනයන් හා ධනපතියන් අතර සබඳතාවය, වහලුන් හා වහල් හිමියන් අතර සබඳතාවය වේ. මෙම සබඳතාවල ස්‌වරූපය අනුව සමාජයේ නිෂ්පාදන විධිය තීරණය වේ. මාක්‌ස්‌ට අනුව නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සබඳතා අතර ඒකීයත්වය තිබෙන තුරු සමාජ ක්‍රමයේ පැවැත්ම තීරණය වන අතර මේ දෙක අතර ඇති වන ප්‍රතිවිරෝධය තුළින් හට ගන්නා ගැටුම නිසා සමාජ ක්‍රමය වෙනසකට ලක්‌වේ.


          උදාහරණ ලෙස ධනවාදී ක්‍රමය ධනපතියා හා නිර්ධනයා අතර ඇතිවන ප්‍රතිවිරෝධී ගැටුම තුළින් ධනවාදී සමාජ ක්‍රමය වෙනස්‌වී සමාජවාදී සමාජ ක්‍රමයක්‌ බිහි වේ.කාල්මාක්‌ස්‌ගේ මෙම සමාජ ක්‍රමය අර්ථකථනයට අනුව ඉතිහාසය යුග කිහිපයකට බෙදයි.


1.     පූර්ව කොමියුනිස්‌ට්‌ සමාජ ක්‍රමය

2.     වහල් සමාජ ක්‍රමය

3.     වැඩ වසම් සමාජ ක්‍රමය

4.     ධනවාදී සමාජ ක්‍රමය

5.     සමාජවාදී සමාජ ක්‍රමය

6.     පූර්ව කොමියුනිස්‌ට්‌ සමාජ ක්‍රමය


          ලෝක ඉතිහාසය තුළ මුලින්ම පැවති සමාජ ක්‍රමය වන්නේ පූර්ව කොමියුනිස්‌ට්‌ සමාජ ක්‍රමයයි. මෙම ක්‍රමය තුළ පුද්ගලික දේපළ ක්‍රමයක්‌ නොතිබී අතර සමස්‌ත සම්පත් පොදු දේපළ ලෙස සලකන ලදී. මිනිසුන්ගේ සිතුම් පැතුම් මෙන්ම උවමනාවන් ද ඉතා අවම හා සරල තත්ත්වයේ පැවතුනි. පැරණි ගෝත්‍රික සමාජ ක්‍රම මීට උදාහරණ ලෙස මාක්‌ස්‌ පෙන්වා දී ඇත. එහෙත් කලකදී මේ සමාජ ක්‍රමය බිඳ වැටී වහල් සමාජ ක්‍රමයක්‌ ආරම්භ වේ. එසේ ඇතිවන්නේ නොයෙකුත් ගෝත්‍ර අතර ඇති වන ගැටුම් තුළින් එක්‌ කොටසක්‌ තවත් කොටසකට යටත්වීම තුළිනි. එහිදී යටත් වූ පිරිස යටත් කර ගත් පිරිසේ දේපළක්‌ බවට පත්වේ. නැතිනම් පුද්ගලික දේපල ක්‍රමයක්‌ ඇති වේ. මේ තත්ත්වය තුළ දේපළ හිමි හා අහිමි වශයෙන් පංති ක්‍රමයක්‌ ද ඇරඹේ. වහල් සමාජය තුළ වහලුන් හා වහල් හිමියන් ලෙස මෙම පංති දෙක බිහි වේ. මාක්‌ස්‌ගේ විග්‍රහයට අනුව මෙම පාලන පංතිය තම අවශ්‍යතා ඉටු කර ගැනීමට රාජ්‍ය නම් ආයතනය පිහිටුවා ගන්නා බව පැවසේ. මාක්‌ස්‌ රාජ්‍ය හඳුන්වන්නේ පාලක පංතියේ මර්දනයේ උපකරණ ලෙසයි.මාක්‌ස්‌ගේ විග්‍රහයට අනුව මෙම වහලුන් හා වහල් හිමියන් අතර ඇති වන ප්‍රතිවිරෝධීතාවය හේතු කර ගෙන වහලුන් විසින් කරුණු ලබන විප්ලවයක්‌ තුළින් මේ සමාජ ක්‍රමය යම් වෙනසකට ලක්‌වේ. වහල් සටන් ලෙස මාක්‌ස්‌ දක්‌වන්නේ සමාජ ක්‍රමය ඉදිරි පිම්මක්‌ පනින බවයි. එය වැඩවසම් සමාජ ක්‍රමයයි. මේ ක්‍රමය තුළ මූලික ආර්ථික සාධකය වන්නේ ඉඩම්ය. මෙහිදී ඉඩම් හිමි රදල පංතියකුත් ඉඩම් අහිමි ප්‍රවේනි පිරිසකුත් යන පංති දෙක ඇතිවේ.


          මේ වැඩවසම් සමාජ ක්‍රමය තුළම ඉස්‌මතු වන ධනපති පංතිය රදලයින්ට විරුද්ධව ඇති කරනු ලබන උද්ඝෝෂණ තුළින් සමාජය තුළ ධනවාදී අවධිය ඇති වේ. ඉංග්‍රිසි විප්ලවය,ප්‍රංශ විප්ලවය මේවාට උදාහරණ ලෙස දක්‌වයි. කාල් මාක්‌ස්‌ගේ දැඩි විවේචනයට ලක්‌වූයේ මෙම යුගයයි. මේ සමාජ ක්‍රමය තුළ ධනපති හා නිර්ධන වශයෙන් පංති දෙකක්‌ දැකිය හැකිය. ධනපති පංතිය විසින් නිර්ධන පංතියේ ශ්‍රමය සූරාකමින් එම ශ්‍රමය ඔවුන්ගේ ප්‍රාග්ධනය ලෙස ඒකරාශි කර ගන්නා බව මාක්‌ස්‌ පවසයි. ඔහු ඉදිරිපත් කළ අතිරික්‌ත ඵලදා න්‍යාය තුළින් මේ මතය සනාථ කරයි. කම්කරු ශ්‍රමයට ගෙවිය යුතු නියම මිල නොගෙවීම තුළින් ඉතිරි කර ගන්නා ධනය ධනපතියන්ගේ ප්‍රාග්ධනය බවට පත්වන බව මාක්‌ස්‌ගේ මතයයි. කෙසේ වෙතත් මෙම ධනපති හා නිර්ධන පංති දෙක අතර ඇති වන ප්‍රතිවිරෝධය තුළින් යම් දිනක ඇති වන නිර්ධන පංති විප්ලවයක්‌ තුළින් ඇති වන සමාජ ක්‍රමය සමාජවාදී සමාජය නමින් මාක්‌ස්‌ හඳුන්වයි. මාක්‌ස්‌ගේ ජීවිත කාලය තුළ හා ඔහු ජීවත්වීමට පෙර පැවැති සමාජ ක්‍රම මෙතෙක්‌ අර්ථකථනය කළ ද සමාජවාදී සමාජ ක්‍රමය සමාජය තුළ දැකිය හැකි එකක්‌ නොවීය. නැතිනම් සමාජය තුළ ඒ පිළිබඳ අත්දැකීමක්‌ නොවීය. එම ක්‍රමය තුළ දී නිර්ධන පංතිය දේශපාලන ආධිපත්‍ය ලබා ගන්නා අතර ක්‍රමිකව සමාජය තුළ පුද්ගලික දේපල ක්‍රමය අහෝසි කරනු ඇත. මෙම සමාජ ක්‍රමය තුළ දී සමූහ ගොවිපොළ, පොදු ගොවිපළ ක්‍රම ආදිය තුළින් පුද්ගලික දේපළ ක්‍රමය ක්‍රමිකව අහෝසි වන බව මාක්‌ස්‌ගේ මතය විය. එහෙත් ධනපති පංතිය තම අහිමි වන දේපළ උදෙසා ප්‍රතිවිප්ලවීය ක්‍රියා මාර්ග ගනු ඇති බවත් මේ තත්ත්වය තුළදී සමාජවාදී සමාජ ක්‍රමයක වුවද රාජ්‍යයේ කාර්ය භාරයක්‌ ඇති බවත් මාක්‌ස්‌ පවසයි. එනම් ඇති වන ප්‍රතිවිප්ලව මර්දනයට නිර්දන පාංතික සමාජය රාජ්‍ය නම් මර්දනයේ උපකරණය භාවිත කළ යුතු බව මාක්‌ස්‌ගේ මතය විය. මෙම සමාජ ක්‍රමය ක්‍රමිකව විකාශනය වීම තුළින් සමාජයේ සමස්‌ත දේපළ පොදු දේපළ බවට පත්වන අතර පොදු දේපළ රහිත ක්‍රමයක්‌ තුළ පංති ක්‍රමද අහෝසි වන අතර එබැවින් පංති සමාජයේ මර්දනයේ උපකරණය වන රාජ්‍යයේ අවශ්‍යතාවද ගිලිහී ගොස්‌ රාජ්‍යද මැකී යන බව මාක්‌ස්‌ පැවැසීය. මාක්‌ස්‌ මේ මතය ප්‍රකාශ කළේ කපුකටින යන්ත්‍රය හා තඹ පොරව මෙන්ම රාජ්‍යද ඉතිහාසයේ කටුගෙට යන බවයි. මෙම රාජ්‍ය අහෝසි වීමේ තත්ත්වය තුළ මාක්‌ස්‌ එම සමාජ ක්‍රමය පූර්ව කොමියුනිට්‌ස්‌ සමාජයක්‌ ලෙස දැක්‌වීය. එහෙත් අද වනතුරුත් මාක්‌ස්‌ගේ එම සමාජ ක්‍රමය දැක ගැනීම උගහටය.


          කෙසේ වෙතත් මාක්‌ස්‌ මේ ආකාරයට ඉතිහාසය විග්‍රහ කිරීම මෙතෙක්‌ දාර්ශනිකයන් ඉතිහාසය විග්‍රහ කළ ආකාරයට හාත්පසින්ම වෙනස්‌ තත්ත්වයකි. එය නව මානයකින් ලෝකය දෙස බැලීමකි. එම දෘෂ්ටිය තුළින් අනෙක්‌ විෂයන් මෙන්ම දේශපාලන සමාජ විද්‍යා විෂය ක්‌ෂේත්‍රයට සිදුවූ පෝෂණීය දායකත්වය අතිමහත්ය. එහි සුවිශේෂ තත්ත්වය වන්නේ මෙම මතවාදයට තවමත් අභියෝග කිරීම එතරම් පහසු කාර්යයක්‌ නොවීමයි.


👉පංතිමය විග්‍රහ

          සමාජ ස්‌තරනය පිළිබඳ කතා කිරීමේදී කාල් මාක්‌ස්‌ගේ සමාජ පංතිම විග්‍රහය සුවිශේෂ තැනක්‌ ගනී. මන්ද මාක්‌ස්‌ට අනුව සමාජ ක්‍රමයක පැවැත්ම හෝ වෙනස්‌ කිරීම සිදු කරන්නේ මෙම පංති අවශ්‍යතාව මතයි. ඔහු දක්‌වන ලෙස පංතියක්‌ යනු නිෂ්පාදන සාධකවල හිමිකාරත්වය මත තීරණය වන තත්ත්වයක්‌ බවයි. නැතහොත් සම්පත් හිමිකම හෝ අහිමිකම හේතු කර ගෙන තීරණය වන බවයි. මාක්‌ස්‌ට අනුව වහල් යුගයේදී වහල් හිමියන් හා වහලන් ලෙස පංති දෙකක්‌ විය. මෙහි දී වහල් හිමියන් සතුව සමස්‌ත දේපළ විය. වහලාට තමන් සතු ශ්‍රමය පවා ලබා දීමට සිදුවූයේ වහල් හිමියාගේ අභිමතය මතයි.වැඩවසම් ක්‍රමය තුළදී ප්‍රවේනි දාසයන් හා රදලයන් ලෙස පංති දෙකක්‌ හඳුන්වා දෙන අතර මූලික ආර්ථික සාධකය වූයේ ඉඩම්ය. එහිදී එම ඉඩමේ හිමිකාරිත්වය රදලයන් සතුවිය. ඉඩම් පරිහරණය වෙනුවෙන් රදලයන්ට බදු ගෙවීමට ප්‍රවේනි දාසයන්ට සිදුවිය.ධනවාදී සමාජ ක්‍රමය තුළ ධනපති හා නිර්ධන වශයෙන් මූලික පංති දෙකක්‌ සිටින බව මාක්‌ස්‌ හඳුනා ගනී. මෙහිදී මූලික ආර්ථික සාධකය ප්‍රග්ධනය වන අතර එය ධනපතියන් සතුවිය. මාක්‌ස්‌ට අනුව මෙම ප්‍රාග්ධනය සකස්‌ වන්නේ නිර්ධනයන් සතු ශ්‍රමය සූරාකෑම තුළිනි. ධනවාදී සමාජ ක්‍රමයක තවත් උපපංති ක්‍රමයක්‌ හඳුනා ගන්නා මාක්‌ස්‌ -


·       මූල්‍යමය පංතිය

·       කාර්මික පංතිය

·       සුළු ධනවාදී පංතිය

·       කෘෂිකාර්මික ධනවාදී පංතිය

·       පීඩිත පංතිය

·       පාදඩ නිර්ධන පංතිය


          කෙසේ හෝ මෙම කුමන කොටසක්‌ වූවද අවසානයේ එක්‌කෝ ධනපති පංතියට හෝ නිර්ධන පංතියට වැටෙන බව පවසයි.


          මාක්‌ස්‌ගේ පංති විග්‍රහය තුළ වැදගත් තත්ත්වය වන්නේ ඔහුගේ සමාජ විකාශනය තුළ ඒ ඒ සමාජවල බලය ලබා ගන්නේ මේ එක්‌ පංතියක්‌ වීමයි. තවද මාක්‌ස්‌ගේ සමාජ විකාශන ක්‍රමය තුළ අවසාන අංශය වන්නේ පූර්ව කොමියුනිට්‌ස්‌ සමාජය තුළ මේ පංති ක්‍රමය අහෝසි වී යයි. මන්ද පංති ක්‍රමයක පැවැත්ම ඇති වන්නේ දේපළ හිමිකාරිත්වය මතයි. නමුත් පොදු දේපළ ක්‍රමය මත සමස්‌ත දේපළ පොදු සමාජ ක්‍රමයටම හිමිවීම නිසා පංති ක්‍රමද නැතිවී යනු ඇත.මේ ආකාරයට සමාජ ක්‍රමය පංති ක්‍රියාකාරිත්වය තුළින් ගමන් කිරීමත් දේශපාලන බලය මෙම පංති අවශ්‍යතාව මත හුවමාරු වීමත් හේතුකර ගෙන කාල් මාක්‌ස්‌ගේ පංති විග්‍රහය තුළින් දේශපාලන සමාජ විද්‍යාවට සිදුවී ඇති මෙහෙය අගය කළ යුතුය.


👉ගැටුම්වාදී න්‍යාය

          ගැටුම තුළින් සමාජය ඉදිරියට ගමන් කරනවාය නැතිනම් ගැටුම තුළින් සමාජය ඉදිරි පිම්මක්‌ පනිනවාය යන මතය ඉදිරිපත් කළ එක්‌ දාර්ශනිකයකු ලෙස කාල් මාක්‌ස්‌ හඳුනා ගත හැකිය. මාක්‌ස්‌ට අනුව ගැටුම ලෙස ඔහු අර්ථකථනය කළේ පංති ගැටුමයි. ධනවාදී සමාජ ක්‍රමය තුළ ඇති ප්‍රධාන පංති දෙක තුළ නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සබඳතාවල අසමතුලිතතාවය හේතුකර ගෙන ප්‍රතිවිරෝධී තත්ත්වයක්‌ ඇතිවේ. මෙම ප්‍රතිවිරෝධීතාව හේතු කරගෙන ඇතිවන එම පංති ගැටුම තුළින් සමාජය තුළ වෙනසක්‌ ඇතිවේය යන්න මාක්‌ස්‌ගේ මතයයි. මේ තත්ත්වය තවත් ලෙසකින් වුවහොත් සමාජ ක්‍රමය තුළ අපෝහකවාදය නැතිනම් ද්වන්ධනාත්මකවාදය ක්‍රියාත්මකවීම සිදුවේ. මේ ආකාරයට සමාජ ක්‍රමය තුළ පරිනාමය මෙම පංති ගැටුම තුළින් සිදුවේ. ඇතැම් විචාරකයින් ආර්ථික නියෑතිවාදය ලෙසද ගැටුම්වාදී න්‍යාය හඳුන්වයි. පසු කලක රැල්ෆ් ඩැරන්ඩµa වැන්නවුන්ගේ ගැටුම්වාදී න්‍යෙයන් ඉදිරිපත් වීම උදෙසා ද මාක්‌ස්‌ගේ මෙම න්‍යය යම් දායකත්වයක්‌ සැපයූ බව කිව හැකිය. මේ ආකාරයට සමාජ ක්‍රමය තුළ දේශපාලන ක්‍රියාවලියට බද්ධව ගැටුම තුළින් සමාජය ඉදිරියට ගමන් කිරීම පිළිබඳ මාක්‌ස්‌ දැක්‌වූ මතවාදය හේතු කරගෙන එම ගැටුම්වාදී න්‍යාය තුළින් දේශපාලන සමාජ විද්‍යා විෂයට සිදුවූ දායකත්වය හඳුනාගත හැකිය.


👉පරාරෝපනය (වියෝජනය)

          කෙනෙකු තවත් කෙනෙකු ගෙන් හෝ සමාජයෙන් වෙන්වී සිටීම මේ නමින් හැඳින්වේ. මාක්‌ස්‌ මෙම අදහස යොදා ගත්තේ ධනවාදී ක්‍රමයක කම්කරුවන් තම ජීවිතයෙන් ක්‍රමිකව වෙන් කිරීමේ ක්‍රයාවලිය අර්ථ දැක්‌වීමටයි. ධනවාදී ක්‍රමයක කම්කරුවා යනු එක්‌ සුවිශේෂි පුද්ගලයකු නොව කර්මාන්ත ශාලාවක යන්ත්‍රයක තවත් එක්‌ දැත්තක්‌ විය.මේ තත්ත්වය තුළ මෙම කම්කරුවන් මනුෂ්‍යත්වයෙන් ඈත් කොට තවත් යන්ත්‍රයක්‌ පමණක්‌ කිරීම පිළිබඳ මාක්‌ස්‌ කරුණු දක්‌වයි. මාක්‌ස්‌ට අනුව මෙම පරාරෝපනය ක්‍රියාවලි ගණනාවක්‌ ඔස්‌සේ සිදුවි


·       වැඩ කිරීමට ඇති අයිතියෙන් ඈත් කිරීම

·       නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඈත් කිරීම

·       සහෝදර කම්කරුවන්ගෙන් ඈත් කිරීම

·       මනුෂ්‍යත්වයෙන් ඈත් කිරීම


          වැඩ කිරීමට ඇති අයිතියෙන් ඈත් කිරීම යනු ධනවාදී සමාජ ක්‍රමය තුළ කම්කරුවන්ට කැමති ආකාරයට ශ්‍රමය විකිණීමට ඇති බාධාවන්ය. නැතිනම් එම අයිතීන්ගෙන් ඈත් කිරීමයි. ධනේෂ්වර පංතියට අවශ්‍ය ආකාරයට තමන්ගේ ශ්‍රමය ලබාදීමට සිදුවීමෙන් ඔවුන්ට අවශ්‍ය පරිදි වැඩකිරීමට ඇති අයිතියෙන් ඈත් කරයි. කම්කරුවාට සුවිශේෂි හැකියා තිබිය හැකිය. නමුත් ලැබී තිබෙන රැකියාවට අනුව තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන ගත නොහැක. එම නිසා යම් කිසි ඈත් කිරීමක්‌ ධනවාදී සමාජයේ පවතින බව මාක්‌ස්‌ පවසයි.නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඈත් කිරීම යනු නිෂ්පාදනයට ඇති අයිතියෙන් ඈත් කිරීමයි. මෙහිදී කම්කරුවන්ට හිමිවිය යුතු වැටුප් ක්‍රමානුකූලව නොලැබීමෙන් ශ්‍රමයට සරිලන වැටුපක්‌ නොලැබීම නිසා නිෂ්පාදනයෙන් ඈත් කර ඇත. නිෂ්පාදන අතිරික්‌තය සඳහා කම්කරුවාට අයිතිවාසිකමක්‌ හිමි නොවන නිසා යම් කිසි ආකාරයක පරාරෝපනයක්‌ දැකිය හැක.සහෝදර කම්කරුවන් ගෙන් ඈත් කිරීම යනු කම්කරුවන් අතර සංවිධානය වී එකමුතු වීමට ඇති අයිතිය ඔවුන්ගෙන් ඈත් කිරීමයි. එසේ එකතුවීමෙන් ධනේෂ්වරයට බලපෑම් කිරීමට හැකි නිසා මෙසේ ඈත් කර තබයි. ධනවාදී සමාජය ගමන් ගන්නේ ආත්ම වාදය මුල්කරගෙන බව මාක්‌ස්‌ පෙන්වා දෙයි.

සමස්‌ත මනුෂ්‍යත්වයෙන් ඈත් කිරීම යනු කම්කරුවා වහලකු වශයෙන් පූර්ණ ලෙස තම ජීවිතය ධනපති පංතිය වෙනුවෙන් කැප කිරීමයි. නැතිනම් නිෂ්පාදන ක්‍රියාවලිය උදෙසා කැප කිරීමයි.


          අතිකාල කිරීම, නිවාඩු නොලබා වැඩකිරීම සමාජ සබඳතාවන්ගෙන් ඈත් වීමට හේතුවේ. ධනවාදී ක්‍රමය යන්ත්‍ර ක්‍රමයේ යන්ත්‍ර බවට මිනිසා පත් කිරීම නිසා මනුෂ්‍ය ජීවිතයේ අනෙකුත් අංශ පිළිබඳව අවබෝධය ලබා ගැනීම සීමාවේ.මාක්‌ස්‌ගේ පරාරෝපනය පිළිබඳ අදහස්‌ බොහෝ විට ජපානය, ඇමරිකාව වැනි රටවලට වඩාත් ගැලපේ. මෙම සමාජවල පුද්ගලයන්ගේ යාන්ත්‍රික ස්‌වරූපයක්‌ දැකිය හැකිය. විවාහ වීමේ ප්‍රවනතාව අඩුවීම. පවුල්වලට ඉටුවිය යුතු යුතුකම් ඉටු නොවීම ආදි ලක්‍ෂණ මේ සමාජවල පුද්ගලයන්ගෙන් දැකිය හැකිය.මේ මතය දරමින් ජපානයේ Japan today සඟරාව දක්‌වන්නේ ජපානයේ දරුවන්ට සිටින්නේ මනෝමය පියවරුන් බවයි. මේ ආකාරයට මාක්‌ස්‌ ඉදිරිපත් කළ පරාරෝපන සංකල්පය අද දේශපාලන සමාජ විද්‍ය විෂය තුළ එක්‌ මාතෘකාවක්‌ බවට පත්වී ඇති අතර එම සංකල්පය විශ්ලේෂණය කිරීමේ දී නැතහොත් අප සමාජයට ආදේශ කිරීමේදී ධනවාදී සමාජ ක්‍රමයේ යථාර්ථය මැනවින් වටහා ගත හැකිය.


පදනම හා උපරිව්‍යුහය පිළිබඳ සංකල්පය

          මාක්‌ස්‌ සමාජ ක්‍රමය විග්‍රහ කිරීමේ දී හැමවිටම භෞතික සාධක මත සිදුකරන ලදී. විශේෂයෙන්ම මාක්‌ස්‌ගේ දැඩි විවේචනයට ලක්‌වූ ධනවාදී සමාජය විග්‍රහ කිරීමේදී එම සමාජ ව්‍යුහය ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදන ලදී.

          1.පදනම           

          2.උපරිව්‍යුහය


                      තාක්‍ෂණය මුල්කර ගත් සියලුම සම්පත් නැතහොත් ආර්ථික සාධකය පදනම ලෙසත් එම ආර්ථික සාධකයට පරිබාහිර පවුල, ආගම, නීතිය, දේශපාලන, සංස්‌කෘතිය ආදී අනිකුත් සෑම අංශයක්‌ම උපරිව්‍යුහය ලෙස ඔහු දක්‌වන ලදී.මෙහිදී ඔහුගේ මතය වන්නේ උපරිව්‍යුහය තුළ සිදුවනු ලබන සියලු ක්‍රියාකාරිත්වයන් මෙහෙයවනු ලබන්නේ පදනම තුළින් බවයි. එසේත් නැතිනම් ආර්ථික සාධකය සමාජය තුළ අනෙකුත් සියලු අංශ මෙහෙයවනු ලබයි. ධනවාදී සමාජය තුළ මෙම ආර්ථික ශක්‌තිය හිමි පංතිය නැතිනම් ධනපති පිරිස සමාජය තුළ අනෙකුත් සෑම අංශයක්‌ම මෙහෙයවයි. එනම් කලාව, නීතිය, දේශපාලනය, සංස්‌කෘතිය ආදී සමාජ අංශ මෙහෙයවන්නේ මෙම ධනපති පංතියේ අවශ්‍යතාවය මතයි. මෙම අර්ථ දැක්‌වීම දේශපාලන සමාජ විද්‍යාව පෝෂණය උදෙසා ද වැදගත් වේ. මන්ද සමාජ ක්‍රමය තුළ දේශපාලන සාධකය ක්‍රියාත්මක වන්නේ ද පංතිමය අවශ්‍යතාවක්‌ මත යන්න මේ න්‍යාය තුළින් පිළිබිඹු වේ. එබැවින් මාක්‌ස්‌වාදී න්‍යාය තුළ දේශපාලන අධ්‍යයනය උදෙසා පදනම හා උපරිව්‍යුහයක්‌ එහි ක්‍රියාකලාපයක්‌ අවබෝධ කර ගත යුතු වේ. මේ හේතු සාධක මත මාක්‌ස්‌වාදී දර්ශනය තුළ ඉදිරිපත් වී ඇති පදනම හා උපරිව්‍යුහය නම් කරුණු දේශපාලන සමාජ විද්‍යාව විෂය කෙරෙහි සෘජු දායකත්වයක්‌ ලබාදෙන බව පෙනේ.


👉ආගම පිළිබඳ මතය

          මාක්‌ස්‌වාදී විචාරය තුළ සුවිශේෂි තැනක්‌ ආගම පිළිබඳ මතවාදයට හිමිවේ. විශේෂයෙන් මාක්‌ස්‌වාදය තුළ ආගම පිළිබඳ භෞතිකවාදී විශ්ලේෂණයක්‌ කර ඇති බව පෙනේ. මාක්‌ස්‌ ආගම පිළිබඳ ධනාත්මක දෘෂ්ටියක්‌ හෙලා නැති බව කිව යුතුය. ඔහුට අනුව ආගම තුළින් සිදු කෙරෙන්නේ මිනිසා අන්ධයන් බවට පත් කිරීමයි. භෞතික පරිසරය තුළ ඇති යථාර්ථය ආගම තුළින්, මිනිසාට දැන ගැනීමට ඇති අයිතිය නැති කරයි. උදාහරණ ලෙස ධනවාදී සමාජය තුළ සම්පත්වල අසම ව්‍යාප්තිය හේතු කරගෙන ඇති නැති පංති ඇති වන අතර එම සම්පත් අහිමි පංතිය තවදුරටත් ධනපතියන්ගේ සූරාකෑමට ලක්‌වේ. එහෙත් ආගම තුළින් මේ යථාර්ථය වසන් කොට පින පව හෝ දේව සංකල්ප තුළ මිනිසුන් අස්‌වසාලයි. සමාජය තුළ ඇති සැබෑ යථාර්ථය තේරුම් ගතහොත් මිනිසුන් සමාජය තුළ ඊට එරෙහිව නැගී සිටී. එහෙත් ආගම තුළින් එම යථාර්ථය වසන් කිරීම හා වෙනත් මතවාදයන් ව්‍යාප්ත කිරීම හේතුකොට ගෙන ධනවාදී සමාජයේ පැවැත්ම රැකේ. මාක්‌ස්‌වාදී මතයට අනුව කෙටියෙන්ම පවසයි නම් ආගම තුළින්ද එම සමාජ ක්‍රමයේ සම්පත් හිමි පංතිය රකී. එම පංතිය කරනු ලබන මානව අසාධාරණය මිථ්‍යා විශ්වාසය තුළින් සාධාරණිකරණය කරයි. ආගම තුළින් මිනිසා යථාර්ථය නොපෙනී මත්වන බව මාක්‌ස්‌ පවසයි. මේ මතය ඔහු පවසන්නේ ආගම අබිං ලෙස හඳුන්වමිනි.ඊට අමතරව ආගම මානව සමාජය බේද බින්න කරන සංස්‌ථාවක්‌ ලෙස මාක්‌ස්‌ හඳුන්වයි. විශේෂයෙන්ම නොයෙකුත් ආගම් අතර හා ආගමික නිකායන් අතර ඇතිවන ගැටුම් තුළින් සිදු වන්නේ සමාජ පැවැත්ම බිඳ වැටීමයි. එවැනි විටක පාලක පංතිය එම ගැටුමට මුවා වී තම පාලිත පංතිය පාලනය කිරීමට ද උත්සහ දරන බව මාක්‌ස්‌ දක්‌වයි.මේ කරුණු මත රටේ දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි හා සමාජ ක්‍රමයේ ප්‍රගමනයට ආගම තුළින් ඇති කරන බාධාවන් හා සීමාවන් පිළීබඳව හඳුනාගත හැකි අතර මේ තත්ත්වය දේශපාලන සමාජ විද්‍යාව තුළදී අධ්‍යයනය කෙරේ.


👉පක්‍ෂය පිළිබඳ මතවාදය

          දේශපාලන සමාජ විද්‍ය විෂය තුළ දේශපාලන පක්‍ෂ ක්‍රමය පිළිබඳ කරනු ලබන අධ්‍යයනයන්ද වැදගත් තැනක ලා ගනී. මන්ද දේශපාලන පක්‍ෂයක්‌ ලෙස ඉදිරිපත් වන්නේ සමාජයක ජන කොටසකගේ මතවාදයක්‌ හෝ අපේක්‍ෂා බලාපොරොත්තු සමූහයක්‌ නිසාවෙනි.මේ හේතු කොට ගෙන කාල් මාක්‌ස්‌ගේ පක්‍ෂය පිළිබඳ මතවාදය දේශපාලන සමාජ විද්‍යාව විෂය පෝෂණය උදෙසා සිදුවූ දායකත්වය පිළිගත යුතුය. ලිබරල් ප්‍රජාතන්ත්‍රරවාදී මතවාදයට අනුව ඕනෑම මතවාදයක්‌ ඉදිරිපත් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඕනෑම පක්‍ෂ ගණනකට දේශපාලන ක්‍රියාවලිය තුළ හැසිරීමට අවසර ලැබේ. මෙම පක්‍ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය මැනවින් පිළිබිඹු කරන ලක්‍ෂණයක්‌ ලෙස පිළිගනී. එහෙත් මාක්‌ස්‌වාදී අදහස්‌ තුළ දැක්‌වෙන්නේ කොමියුනිට්‌ස්‌ පක්‍ෂයේ කාර්ය භාරය පමණි. කොමියුනිට්‌ස්‌ පක්‍ෂයේ මූලික අරමුණ ධනවාදී සමාජ ක්‍රමය තුළ සකල නිර්ධනයන් ඒකරාශීව සංවිධානය කර වීමයි. එම සංවිධානයේ ශක්‌තිය තුළින් නිර්ධන පංති විප්ලවය මෙහෙයවීමයි. විශේෂයෙන්ම නිර්ධන පංතියට ඇති එකම ශක්‌තිය සංවිධානයවීම බව මාක්‌ස්‌ගේ මතයයි. එම කාර්යය මෙහෙයවීම නැතහොත් නායකත්වය සැපයීම කොමිනිට්‌ස්‌ පක්‍ෂයේ කාර්ය භාරය බව මාක්‌ස්‌ පවසයි.

මාක්‌ස්‌ගේ දර්ශනයට අනුව කොමියුනිට්‌ස්‌ පක්‍ෂයේ අරමුණ නිර්ධනයින් සංවිධානය කරවීම හා පංති විප්ලවයක්‌ කරා මෙහෙය වීම හේතු කොට පවතින ධනවාදී සමාජ ක්‍රමයේ නැතහොත් ධනවාදී පංතියේ මර්දනීය උපකරණය වන රාජ්‍යයේ බලපෑමට හෝ මර්දනයට ලක්‌විය හැකිය. මේ හේතු කොට ගෙන පක්‍ෂය ඉතා රහසිගතව සංවිධානය විය යුතුයි. කොමියුනිට්‌ස්‌ පක්‍ෂය යනු නිර්ධන පංතියම නොවන බව මාක්‌ස්‌ගේ අරමුණ විය. පක්‍ෂ සාමාජිකයන් බුද්ධිමත් මෙන්ම මනා කැපවීමක්‌ සහිත පිරිසක්‌ විය යුතු බව ඔහුගේ මතය විය. ඉතා රහසිගත ක්‍රියාකාරිත්වය තුළින් අවසානයේ නිර්ධන පංති විප්ලවය කරා මෙහෙයවීමත් ඉන්පසු එළඹෙන නිර්ධන පාංතික ආඥදායක රජයේ මෙහෙයුම් කටයුතු කිරීමත් පක්‍ෂයේ කාර්යයක්‌ බව මාක්‌ස්‌ගේ මතය විය.


          මේ ආකාරයට දේශපාලන සමාජ විද්‍යව විෂය තුළ දේශපාලන පක්‍ෂ යන්නට නව අර්ථකථනයක්‌ මාක්‌ස්‌වාදී දෘෂ්ටිය තුළින් ලැබී ඇත.මේ ආකාරයට බැලූ කල දේශපාලන සමාජ විද්‍යාව විෂය තුළට විශාල දායකත්වයක්‌ කාල් මාක්‌ස්‌ගේ න්‍යායන් තුළින් ලැබී ඇත. එහි වැදගත්ම කරුණ වන්නේ මාක්‌ස්‌ගෙන් පසුව එම මතාන්තර ගරු කළ පිරිසක්‌ විසින් මාක්‌ස්‌වාදී ගුරු කුලය ගොඩනංවා ගනිමින් තවදුරටත් සමාජය අර්ථකථනය කිරීමට පෙළඹීමයි. විශේෂයෙන්ම මාක්‌ස්‌ගේ අවධිය වන විට ධනවාදයේ උපරිමය කරා පැමිණ තිබූ අතර මාක්‌ස්‌ගෙන් පසු යුගය තුළ සමාජය තුළ සිදුවූ වෙනස්‌කම් අර්ථකථනය කිරීමට මාක්‌ස්‌වාදී ගුරු කුලයේ දාර්ශනිකයන් හට ඔහු ඉදිරිපත් කළ මූලික න්‍යායගත කරුණු බෙහෙවින් හේතු විය. එසේම කාල්මාක්‌ස්‌ දැක්‌වූ ධනවාදී සමාජය බිහි වී තිබුණේ එංගලන්තය ප්‍රමුඛ බටහිර යුරෝපීය රටවලයි. එහෙත් මාක්‌ස්‌ දැක්‌වූ කම්කරු විප්ලව සිදුවූයේ රුසියාව, චීනය ආදි එතරම් ධනවාදය ව්‍යාප්ත නොවූ වැඩවසම් ක්‍රමයේ සලකුණු බෙහෙවින් දැකගත හැකි රටවලයි. එහෙත් මෙම විප්ලවීය නායකයන්ට තම රටවලට ගැලපෙන ආකාරයට මාක්‌ස්‌වාදී න්‍යාය යොදා ගෙන විප්ලවීය ක්‍රියාමාර්ග සිදුකිරීමට හැකිවූයේ මාක්‌ස්‌වාදී දෘෂ්ටිය තුළ තිබූ යථාර්ථවාදී ස්‌වභාවය හේතු කොට ගෙනයි. මේ කරුණු සියල්ල දෙසම සාපේක්‍ෂව බැලීමේදී කාල් මාක්‌ස්‌ගේ සමාජ න්‍යාය තුළ අන්තර්ගත වී ඇති දේශපාලන සමාජ විද්‍යාව පෝෂණය කළ කරුණු කාරණා බොහොමයක්‌ හඳුනාගත හැකිය.


         කෙසේවෙතත් පසුගාමී න්‍යායන් කරපින්නාගෙන නැවතත් ගෝත්‍රික සමාජ ක්‍රමයක් පතා දේශපාලනය කරනු ලබන  ලංකාවේ දේශපාලන පක්ෂ තෝරා ගැනීමේදී චන්දදායකයාගේ සබුද්ධික භාවය කෙතරම් දුරට නිවැරදිද යන වග නැවත නැවතත් ප්‍රශ්න කිරීමට ලක්කල යුතු කරුණකි.


🌏 සබැඳි -

👉 ලිබරල් වාදය - https://m.facebook.com/story.php?story_fbid=461967352601480&id=100063646586179&mibextid=Nif5oz


👉 පැසිස්ට් වාදයේ - https://m.facebook.com/story.php?story_fbid=450920780372804&id=100063646586179&mibextid=Nif5oz


👉 මාක්ස් වාදය - https://m.facebook.com/story.php?story_fbid=669193588545521&id=100063646586179&mibextid=Nif5oz


👉 සොක්‍රටීස් - https://m.facebook.com/story.php?story_fbid=665830355548511&id=100063646586179&mibextid=Nif5oz


👉වෙන් විශේෂ සටහන් - "ආලකමන්දාව" https://eashana.blogspot.com/


✍️ #මීරිගම_ඊෂණ