Wednesday, June 30, 2021

මීරිගම විත්ති

            ඉතිහාසය පුරාවටම ලිඛිත අලිඛිත ජනප්‍රවාද ඇතුලත් ලංකා ඉතිහාසයේ මෙන්ම වර්ථමානයෙද අනාගතයේදී ද ලංකා ඉතිහාසයෙ රන් අකුරින් සටහන් වන ආදරණීය මාගේ ගම්ප්‍රදේශය මීරිගම පිළිබඳ තොරතුරු බිඳක්.



මීරිගම නාමය පිළිබඳ පුරාවෘත්ත හා  ඓතිහාසික පසුබිම

            මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳව තොරතුරු ලබාගැනීමට ලිඛිත සාධක අවම වුවද ජනප්‍රවාද වලින් එන තොරතුරු ඔස්සෙ ගත්විට පැරණි ජනාවාස හා සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිය.රුහුණු ,මායා,පිහිටි,වශයෙන් ලංකාව කොටස් තුනකට බෙදී පාලනය පැවැති කාලයේදී රුහුණු රට කාවන්තිස්ස රජුත් ,මායාරට කැළණිතිස්ස රජුගේ දේවි කුමරියත් අතර ඇතිවූ විවාහ සම්බණ්ධයද ඒ හා සම්බණ්ධ රට එක්සත් කිරීමට  ප්‍රථම  මහා වංශයේ සදහන් ජනප්‍රවාද කථාවකට අනූව මීරිගම පිළිබඳ තොරතුරු සඳහන්වේ. එමෙන්ම එම තොරතුරු  අනුව ,මිරිගමට අදාලව කැපී පෙනෙන මාර්ග රටාවක ලක්ෂණ ද හඳුනාගන්නට ලැබේ.

දුටුගැමුණු රජු හා බැඳුන ජනප්‍රවාදය

            දුටුගැමුණු රජතුමා  පිළිබඳව විස්තර කිරීමේදී මහාවංශ කතුවරයා විහාරමහා දේවියට ඇතිවූ දොලදුකක් සම්බණ්ධයෙන් කරන විස්තරයෙහි සියනෑකොරළය හා සම්බණ්ධ ප්‍රදේශ කීපයක් ගැන සඳහන් වේ. විශාල මීවදයක පැණි කෑමට ඇතිවූ ආශාව සිංසිඳීම සඳහා කාවන්තිස්ස රජුගේ යෝදයෙක්වූ ගොඨයිම්බර යෝදයාට මෙම කර්තව්‍ය පවරණ ලදී.ඔහුට ලැබුණ ආරන්චියකට අනූව, මිගමු වෙරළෙහි මසුන් මරන්නන්  විස්න් හැරදමා තිබූ ඔරුවක් තුළ බඳන ලද විශාල මීවදයක් ලබාගැනිමට අසුපිටින් ගිය බවක් සඳහන්ය. 

                එම ඔරුවෙන් මී කඩාගෙන නැවත මාගමට ඒමට එනවිට මී වදය ගෙන ඒමට කරදර නිසා භාජනයකට පැණි ගැනීමට ඉතා පහසු බව හැගීමී පැණි භාජනයකට මිරිකා ගෙන ඉතිරි වද ඉවත  දමන ලදී.එම මීවඳ ඉවත දැමූ (හලා) ස්ථානය  හලාවත නමින්ද,පැණි භාජනය රැගෙන නැවත ගමන් ආරම්භ කර ගමන් කර මදක් විඩා නිවා නැවත ගමන් ඇරඹු තැනදී පැණි භාජනය උතුරා ගියෙන් එයින් විසිරුණු පැණි ස්වල්පයක් තොළ ගෑමෙන් පසු එම  සුමිහිරි බව දැණුන ප්‍රදේශය මිහිරිගම හෙවත් පසුකාලයේදී මීරිගම නමින්ද හැඳන්වූ බව ජනප්‍රවාදයේ එයි.

දෙවන රාජසිංහ රජු හා බැඳුන ජනප්‍රවාදය 

                දෙවන රාජසිංහ රජතුමා පෘතුගිසීන් සමග සටන්කොට පසු බෑමට ලක්ව කොළඹ කොටුවේ සිට සීතාවක දෙසට ආපසු එන අතරතුර සියනෑ කොරළය ප්‍රෙද්ශයේ කැරැල්ලක් ඇතිවී තිබෙන බව රජතුමාට සැලවිය. රජතුමා දිවා ආහාර ගැනීම සඳහා නතරවු අවස්ථාවේ එම කැරැල්ල ගැන සොයා බැලිමට තම සේනාව පිටත්කර යැවිය .එම සේනාව කැරැල්ල මැඩ පවත්වා ඒ පිළිබඳ පුවත දෙවන රාජසිංහ රජතුමාට දැන්වු ස්ථානය , යුද්ධයෙන්ස පසු බැමට ලක්ව සිට රජු හට මිහිරි පුවතක් වූ බැවින් මිහිරිගම නමින්ද පසුව ව්‍යවහාරයේදී මීරිගම නමින්ද භාවිතාවූ බව ජන වහරේ පැවත එයි.

                        ක්‍රි.පු 103 දී රාජ්‍යත්වයට පැමිණි වට්ඨගාමිනී අභය හෙවත් වළගම්බා රජු  රාජ්‍යයත්වයට පත් වි මාස 5 කට පසු කැරළි හා දකුණු ඉන්දිය ආක්‍රමණ හමුවේ පරාජයට පත් වි සිහසුන අහිමිවිය. නමුත් වසර 14 කට පසු ආක්‍රමණිකයන් පරාජය කර නැවත සිහසුන ලබාගැනිමට එතුමාට හැකි විය.එම වසර 14ක කාලය මධ්‍යම කඳුකරයේ ආරම්භය ලෙස සැලකෙන හාපිටිගම් කොරළයේ මීරිගම ආශ්‍රිතව වටිනා  ඉතිහාසයක් සැගව ඇති බව මීරිගම ප්‍රදේශය පුරා විසිරී පැතිරී පවතින පුරාණ රාජමාහා විහාර සාක්ෂි දරයි. තලගම පුරාණ රජමහා විහාරයේ චෛත්‍ය වලගම්බා රජ දවස ඉදිවූවක් ලෙස සැලකෙන අතර එය ඡත්‍ර ආකාර  (ඉන්දියාවේ සාන්චි ස්ථුපය වැනි) හැඩයෙන් යුත් ලංකාවේ පවතින එකම ස්ථූපය ලෙස සඳහන් කළ හැකිය. වල්බෝතලේ,මඩබාවිට,මාලදෙණිය, කහඳව,ලින්දර,බොරුක්ගොමුව,ගල්ගාන වැනි ප්‍රදේශ ආශ්‍රිත විශාල ලෙන් විහාර ප්‍රමාණයක් මීරිගම ප්‍රදේශය පුරාවටම විසිරී පැතිරී පවතින අතර,මේවා සියල්ල වලගම්බා රජ දවස සතුරාගෙන් ආරක්ෂාවීමට එතුමන්ට සෙවන සැපයූ ස්ථාන ලෙස සඳහන්වේ.එයට කෘතගුණ දැක්වීමට හා සිහිවීමට තේරවාදී බුදුදහම චිරාත් කාලයක් බැබලවිම උදෙසාත් එම ස්ථානවල විහාරස්ථාන ඉදිකර මහාවිහාර සම්ප්‍රධාය මූලිකවූ විහාරස්ථාන ලෙස ශාසනය පුජාකරන ලද විහාරස්ථාන වන අතර අද වන විට ශාම්‍යඋපාලී මහා වන්ශික සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි පාර්ශව වලට අයත් විහාරස්ථාන ලෙස පවති. 

මීරිගම මැතිවරණ බලප්‍රදේශය  


                1946 මැතිවරණ කොට්ඨාශ සීමානිර්ණය කරීමේ කොමිශන් සභාවේ අංක XIIIසැසි වාර්ථාව අනූව 1947 සිටම මැතිවරණ කොට්ඨාශයක් ලෙස වෙන්කර ඇති අතර ශ්‍රී ලංකාවේ පළමුවැනි නියෝජිත මන්ත්‍රි මණ්ඩල මැතිවරණ කොට්ඨාශ 89න් එකක් ලෙස මීරිගම ද නම් විය.වර්ථමාන ගම්පහ දිස්ත්‍රික්කය තුළ එවකට තිබූ මැතිවරණ කොට්ඨාශ 6න් එක්ක ලෙස මීරිගම හැඳින් වීමටද පුළුවන. මෙම මැතිවරණ කොට්ඨාශයට එවකට උඩුගහ, පල්ලෙවෙල, මීරිගම ප්‍රාදේශීය සභා උපකාර්යාල බල ප්‍රදේශයන් ද අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශයේ බෙම්මුල්ල හා එගොඩපොත  ප්‍රාදේශීය සභා උපකාර්යාල බල ප්‍රදේශවල කොටස් කීපයක්ද අයත්වී තිබේ.ජනගහනය වැඩිවීමත් සමග 1977 කාල සීමාව තුළ නැවත අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශයට අයත් කොටස් වෙන්වී ඒ ඒ ආසන්න මැතිවරණ කොට්ඨාශ වලටත් සම්බණ්ධ කර සීමානිර්ණය සිදු කර ඇති බව පෙනී යයි.    

           මෑතකදී සිදුකරණ ලද පළාත් පාලන සීමා නිර්ණය (2012) අනූව මීරිගම මැතිවරණ කොට්ඨාශය පළාත් පාලන කොට්ඨාශ 29 යක් යටතේ මීරිගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ පරිපාලනය තවත් විදිමත් කරන ලද අතර නුදුරු අනාගතයේදී පළාත් සභා සීමා නිර්ණයට අණුව නැවත වරක් මීරිගම මැතිවරණ කොට්ඨාශයේ පළාත් සභා කොට්ඨාශයේ හැඩය වෙන්ස් වීමට නියමිතය.

                    වර්ථමානයේ පවතින සීමානිර්ණය  අණුව මීරිගම මැතිවරණ බලප්‍රදේශයේ සීමා මායිම්

1.උතුරට            -       වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් දඹදෙනිය හා කටුගම්පොළ යන                                      මැතිවරණ කොට්ඨාශත්,

2. නැගෙනහිරට -      සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ,දැදිගම මැතිවරණ                                                     කොට්ඨාශයත්,  

3.දකුණට          -        ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශයත්,

4.බටහිරට         -        ගම්පහ දිස්ත්‍රික්කයේ , මිනුවන්ගොඩ හා දිවුලපිටිය මැතිවරණ කොට්ඨශත්,

            ලෙස සීමා මායිම්ව පිහිටා ඇති අතර මේවා මාඔය,අත්තනගළු ඔය , දී-ඇලි ඔය ආදී ස්භාවික සීමාවන් මගින් වෙන්වන ආකාරය දක්නට ඇත.

 මීරිගම පරිපාලන ව්‍යුහය  

පළාත                                     -    බස්නාහිර

දිස්ත්‍රික්කය                              -    ගම්පහ

මැතිවරණ කොට්ඨාශය            -     ගම්පහ 02

මැතිවරණ බල ප්‍රදේශය            -     මීරිගම

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  -    මීරිගම 

මුළු භූමි ප්‍රමාණය                      -    වර්ග කි.මි 190

ග්‍රාම නිළධාරී කොට්ඨශ            -     149

ගම් සංඛාව                               -    412 (මෙය ඉඩම් වෙන්දේසියත් සමග යාවත්කාලින වේ)

ප්‍රධාන නගරය                          -     මීරිගම (ගම්පහ නගරයට ඇති දුර කි.මි 24)

ජනගහනය                              -      215000 (2020 ආසන්න වර්ශයට හා ආසන්න අගයට)

ජන ගනත්වය (වර්ග කි.මි)        -     1132

සාමාන්‍ය වාර්ශික උෂ්ණත්වය  -      ෆැරන්හයිඩ් 80

සාමාන්‍ය වාර්ශික වර්ෂාපතනය -     මලිලීටර් 150

ප්‍රධාන ජල සැපයුම් මාර්ග         -     මා-ඔය , අත්තනගලු ඔය, දී-ඇලි ඔය ,කුඩා ඔය

පළාත් පාලන ආයතනය            -    මීරිගම ප්‍රාදේශී සභාව
                 කොට්ඨාශ               -    29
                 මන්ත්‍රි ආසන            -    51
                 එක් මන්ත්‍රී වරයෙකුට ජන අනුපාතය - 1 ට 4135
                උපකාර්යාල ගණන    - 04 , මීරිගම 
උපකාර්යාලය, උඩුගහ උපකාර්යාලය (කණ්ඩලම),                                                            වේවැල්දෙණිය උපකාර්යාලය ,පල්ලෙවෙල උපකාර්යාලය

කොරළය හා විවාහ ලි.ප කොට්ඨාශ -     1.  හාපිටිගම කොරළය
                                                            2.  බටහිර සියනෑ කොරළය
                                                            3.  නැගෙනහිර සියනෑකොරළය

                                               පත්තු - 1. උඩුගහ පත්තුව
                                                           2. යටිගහ පත්තුව

උපත් මරණ ලි.ප කොට්ඨාශ -     1.  උඩුගහ උතුර
                                                  2. උඩුගහ දකුණ
                                                  3. යටිගහ දකුණ
                                                  4. ගල්ගමුව
                                                  5. දෙබහැර

පොලිස් වසම් -  1.මීරිගම
                        2.පල්ලෙවෙල
                        3.වේයන්ගොඩ
                        4.නිට්ටඹුව

සමෘද්ධි කලාප -    1.බාඳුරාගොඩ
                            2. පල්ලෙවෙල
                            3. කැටකාලපිටිය
                            4. මීරිගම
                            5. ඉ
ඳිපරපේ
                            6. පස්යාල
                            7. කණ්ඩලම
                            8. කීනදෙණිය
                            9. නුංගමුව
                            10. වේවැල්දෙණිය

ගොවිජන සේවා මධ්‍යස්ථාන -   1.මීරිගම
                                                2.පස්යාල
                                                3.පල්ලෙවෙල

රොහල - මීරිගම මූලික රෝහල (බස්නාහිර පළාත් සභාව)

සෞඛ්‍ය වෛද්‍ය නාළධාරී කොට්ඨාශය - මීරිගම

මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ -   1.මීරිගම
                                                            2.අඹේපුස්ස
                                                            3.බා
ඳුරාගොඩ
                                                            4.කල්එළිය
                                                            5.කොට්ටල
                                                            6.කහටපිටිය
                                                            7.පස්යාල
                                                            8.වේවැල්දෙණිය

පශුවෛද්‍ය කොට්ඨාශය - මීරිගම

අධ්‍යපන කලාපය - මිණුවන්ගොඩ
              අධ්‍යාපන කොට්ඨාශය - මීරිගම

                 
පාරිසරික ලක්ෂණ


වර්ග ප්‍රමාණය හා භෞතික පසුබිම
                මිරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ඨාශයේ වර්ග ප්‍රමාණය  වර්ග කිලොමීටර් 190ක් පමණවේ.උතුරට මා ඔය සීමාකරගෙන කුරුණෑගල දිස්ත්‍රික්කය මායිම් වශයෙන් පිහිටා ඇත. නැගෙනහිර කුරුණෑගල දිස්ත්‍රික්කයෙණුත් ,සබරගමුව පළාත් මායිමෙන් (කෑගල්ල දිස්ත්‍රික්කයටත්) ද සීමා වේ.දකුණුකොටස අත්තනගල්ල ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයටත් බටහිර අත්තනගල්ල හා දිව්ලපිටිය යන ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශ දෙකටත් මායිම්වේ.මේ අණුව ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලත්වය අණුව දෙවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයවේ.තවද වර්ග සැතපුම් 73.34ක් වන මීරිගම මැතිවරණ බල ප්‍රදේශය අක්කර 18331ක විශාලත්වයකින් යුක්ත වේ. 1981 ජන සංගණනය අණුව ජන ගහනය 111,294කි.ජනගන්ත්වය වර්ගගිලේමීටරයට 770ක්වේ.1987 වර්ෂයට ඇස්තමේන්තු කරන ලද කොට්ඨාශයේ ජන ගහණය 127344ක්වේ) 2001 වර්ශයට ඇස්තමේන්තු කරනලද ජන සංඛ්‍යව 143288ක්වේ.තවද 2010 ජන සංගණනයට අණුව ජනගහනය 166945 වන අතර ජනගණත්වය වර්ග කිලේමීටරයට 812ක් වේ. ඒ අණුව 2020 වර්ශයේ චන්ද නාමලේඛන අණුව 132000ක් පමණ ලියාපදිංචි චන්ද දායකයන් හා සමස්ත ජනගහනය 215000 කට ආසන්න අගයක් ගනියි.

භෞතික පරිසරය
                භූමිය -කොට්ඨාශයේ භූ විශමතාවය බලනවිට සම තැනිතලා බිම් විශයෙන් ව්‍යාප්තව ඇත.එහෙත් ස්ථාන කීපයක තැන් උස් පෙන්නුම් කරන ක
ඳු කොටස් දක්නට ලැබේ.

            නැගෙනහිර මායිමේ භූමිය උස් බිම් වශයෙන් දක්නට ලැබෙණුයේ කෑගල් දිස්ත්‍රික්කයට හා සබරගමු  පළාතට මායිම් වන කොටස්ය.පල්මඩ ,කීණදෙනිය,බෝතලේ,පොත්තෙකන්ද, වැනි ග්‍රාම නිළධාරී වසම් රජයේ කැලෑබිම් හා කඳුබිම් වලින් යුක්ත වේ.සාමාන්‍ය වශයෙන් භූමිය ඊසාන සිට නිරිත දෙසට බෑවුම් ස්භාවයක් පෙන්නුම් කරයි.මධ්‍යම කඳුකරයේ ආරම්භය ලෙසද මීරිගම ආශ්‍රිත ප්‍රදේශය භූවිද්‍යත්ඥයින් විසින් හඳන්වයි.

                පොදුවේ ගත්විට අඩි 100 පමණ සාමාණ්‍ය තැනිතලා ස්වරූපයක් දැක්වුවත් ,උතුරු මායිමේ සිට දකුණූ මායිමට කිලෝමීටර් 21ක් පමණුවූත් , නැගෙනහිර සිට බටහිර සීමාවට කිලෝමීටර් 17.5 ක් පමණ වූත්  කොට්ඨාශයේ පහත දැක්වෙන කඳුගැට සහිත උස්තැන් කීපයක් පිහිටා ඇත.

1.වල්බෝතලේ කන්ද (කණ්ඩලම කන්ද) - අඩි 871
2.හිරිවල               - අඩි735
3.කරගහතැන්න   - අඩි 683
4.බලගල             - අඩි 621
5.කහ
ඳව              - අඩි 531
6.දඹුව කන්ද        - අඩි 448
7.බබරගල කන්ද  - අඩි 430
8.රිලාගල කන්ද   - අඩි 380
9.ගිරිඋල්ල කන්ද - අඩි 349
10.මීරිගම දුම්රිය පල - අඩි164

ජලවහන රටාව
            ප්‍රදේශයේ ජලවහන රටාව නැගෙනහිර - බටහිර හා ඊසාන - නිරිත දිශාන්තර බෑවුම් ප්‍රෙද්ශයෙන් දක්නට ලැබෙයි.මීරිගම කොට්ඨාශය හරහා ගලා බස්නා ප්‍රධාන ජල මාර්ග දී ඇලි ඔය හා කුඩා ඔය වේ.කුඩා වැව් අමුණු, ඇල මාර්ග, උල්පත් ප්‍රදේශය පුරා ව්‍යාප්තව තිබීම විශේෂ ලක්ෂණයකි. 

            ගම්පහ දිස්ත්‍රික්කය සමස්ථයක් ලෙස සලකා බැලීමේදී මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උල්පත් වැඩි කොටසක් දක්නට ලැබේ.අධික පායන කාලවලදී පවා උල්පත් වැඩි කොටසක ජලය සිඳීයාමක් දක්නට නොලැබේ.එහෙත් කඳකර ප්‍රදේශවලට අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවේ .කුඩා වැව් 12ක් පමණ තිබුණත් ජලය රඳවා ගැනීම සඳහා පිළිසකර කර ඇත්තේ කුඩාවැව් කිහිපයක් පමණි.නිරිතදිග හා ඊසාන දිග මෝසමෙන් ලැබෙන වර්ෂා ජලයෙන් වැඩි ප්‍රමාණයක් කුඹුරු අස්වැද්දීම කරේ.

වෘක්ෂලතා සැකැස්ම
                ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශ අතුරින් සංකීර්ණ වෘක්ෂලතා රටාවක් මීරිගම කොට්ඨාශයේ දක්නට ලැබේ . ඊට හේතුව වී ඇත්තේ රජයේ කැලෑ හා රක්ෂිත වනාන්තර ස්භාවික වෘක්ෂලතාවන්ගේ වැඩිකොටසක් වසාගෙන තිබීමයි.වන සංරක්ෂණ දෙපාර්ථමේන්තුව යටතේ පාලනය වන මොවැනි කැලෑ බිම් අක්කර 4000ක් පමණ (4203) ග්‍රාමනිළධාරී කොට්ඨාශ 22 තුළ පැතිරී තිබේ.(උදා - විලිකුලා කන්ද වන වගාව අක්කර 870,කොටකන්ද වන වගාව අක්කර 680,බජ්ජන්ගොඩ වන වගාව  අක්කර 425 ආදී වශයෙනි) රක්ෂිත වනාන්තරවල  තේක්ක ,මහොගනී ,හල්මිල්ල, වැනි වාටිනා වර්ගවල වෘක්ෂලතා දක්නට ලැබේ .ඒ හැර පොල් වගාව ප්‍රදේශයේ ප්‍රධාන වගාව වශයෙන් වෘක්ෂලතා සැකැස්මේ ප්‍රධාන තැනක් ගෙන ඇත.අක්කර 1271ක පොල් වගා ප්‍රමාණයක් කොට්ඨාශය තුළ ඇත.

භූමි පරිභෝජන හා වගා රටාව
                    ප්‍රදේශයේ  භූමි පරිභෝජන රටාව සමබර ආර්ථික තත්වයක් පෙන්නුම් කරන ආකාරයට සකස්වී ඇත.ව්‍යාපාරික හා පාරිභොගික කෘෂි රටාවන්ගේ ක්‍රම මෙහි දක්නට ලැබේ.පාරිභොගික කෘෂිකර්මය යටතේ අහස්දියෙන් කෙරෙන වීවගාව ප්‍රධානය.ඒ හැර කෝපි, ගම්මිරිස් හා එලවලු ආදිය සුළු වශයෙන් වගාකරනු දක්නට ලැබෙයි. ව්‍යාපාරික කෘෂිකර්මයද ඉඩම් ප්‍රමාණය අනූව බලන විට කොට්ඨාශයේ වැඩි කොටසක් පැතිරී ඇති බවත් පෙන්නුම් කරයි.එයිනුත් පොල්වගාව ප්‍රධානය.වතු කෘෂිකර්මය ලෙස විශාල වතු ලෙසත් ,ජනවසම,කුරුණෑගල වැවිලි සමාගමට අයත් වතු, මහා භාරකාර අරමුදලට අයත් වතු, ඉ.ප්‍ර.කො හා පුද්ගලික ගෙවතු වගා ලෙසත් මෙය කරනු දක්නට ලැබේ.

වාර්ෂික වර්ෂාපතනය  හා උෂ්ණත්වය
                   ගම්පහ දිස්ත්‍රික්කය සමස්ථයක් ලෙස ගෙන බැලීමේදී පෙන්නුම් කරනු ලබන වර්ෂාපතනය හා උෂ්ණත්ව ව්‍යාප්තිය මීරිගම කොට්ඨාශය හා සම්බණ්ධයෙන් සැස
ඳීමට පුළුවන . මේ හේතුවෙන් මීරිගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේද, ගම්පහ දිස්ත්‍රික්කයට ස්ථානු රෑපි වර්ෂාපතනයක් හා උෂ්ණත්ව රටාවක් පෙන්නුම් කරයි.ෆැරන්හයිට් අංශක 80 (සෙන්ටිග්‍රේට් අංශක 27) පමණවේ. දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා සසඳා බැලීමේදී පොදුවේ වැඩි වර්ෂාපතනයක් මීරිගම කොට්ඨාශයේ නැගෙනහිර බෑවුම් කලාපයට ලබාදෙන බව පෙනේ.ඊට හේතුව දිවයිනේ මධ්‍ය කඳුකරයේ ආරම්භක ප්‍රදේශය වශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට හා සබරගමුව පළාතට මායිම්වීමටත් ,ස්භාවික හා රක්ෂිත වනාන්තර වැඩිකොටසක් මේ කලාපය තුළ පිහිටා තිබීමත්ය.
                    කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව මගින් පරීකෂණ දත්ත ලබාගැනිම ස
ඳහා  මධ්‍යස්ථාන තුනක් පස්යාල හා අඹේපුස්ස හා හල්ගමපිටිය යන ස්ථානවල පවත්වාගෙන යනු ලබන අතර එම දත්ත විශ්ලේෂණයෙන් වර්ෂාපතන අගයන් පරීක්ෂා කර බැලීමෙන් ඉහත කරුණ වඩාත් පැහැදිලි වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වර්ෂාපතනය හා සැසඳීමේදී වැඩි වර්ෂාපතනයක් මීරිගම කොට්ඨාශයෙන් පෙන්නුම් කරයි.ස්භාවික වෘක්ෂලතා වැඩිම කැලෑ (ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ රක්ෂිත වනාන්තර)වැඩිකොටසක් පිහිටීම,දියඋල්පත් බහුලවීම ආදියත් ,මධ්‍යම කඳුකර කලාපයට ආසන්න විමත් ,හේතුන් වශයෙන් දැක්විමට පුළුවන.
                    මේ තත්වය මෙසේ වුවද ජනගහනය වැඩිවිමත් සමග කැලෑ ප්‍රදේ එලිපෙහෙලි කරමින් ජනාවස ස්‍රදහා යොදා ගැනීමත් හො
ඳන් වැඩුන ගස් වගා සංරක්ෂණ ක්‍රමයකින් තොරව කැපීම ආදී කරුණු මත වර්ෂාපතනය අඩු විමට හේතු ලෙස පෙන්වා දිය හැකිය.එම නිසා අනාගත අභියෝගයක් වන ජල හිගයට පිළිතුරක් ලෙස ක්‍රමවත් වන සංරක්ෂණ ක්‍රියාවලියක අවශ්‍යතාවය මතුව ඇති බව හඳුනාග හැකි කාලීන අවශ්‍යතාවක් ලෙස පෙන්වා දිය හැකිය.  

📌.ප්රදේශය තුළ දක්නට ඇති කර්මාන්ත
----------------------------------------------------------

📍.පාරම්පරික කර්මාන්ත
        පාරම්පරික කර්මාන්ත පිළිබඳව කතා කිරීමේදී රදාවඩුන්න ගම්ප දේශය වේවැල් කර්මාන්තය පිලිබඳවත් බෝතලේ සුදු කන්ද ආශ්රිත ප්රදේශ මැටි කර්මාන්තය හා කුඹල් කර්මාන්තය පිළිබඳව. වැඩි අවධානයක් යොමුවන ප්රදේශ ලෙස පෙන්වා දිය හැකිය. මීට අමතරව මැතිවරණ කොට්ඨාශය පුරාවටම කුඩා කර්මාන්ත වල නියැලෙන පිරිස් දක්නට ඇත.


📍.කර්මාන්ත වර්ග

1. ගෘහ කර්මාන්තය
2.ගඩොල් සහ මැටි ආශ්රිත කර්මාන්ත
3.බ්ලොග් ගල් කර්මාන්ත
4. කඩ ආශ්රිත කර්මාන්ත
5.දැව භාණ්ඩ නිෂ්පාදනය හා ලී ආශ්රිත කර්මාන්ත 6.උළු නිෂ්පාදන කර්මාන්ත
7.ඊයම් භාණ්ඩ නිෂ්පාදනය
8. ඊයම් ආශ්රිත කර්මාන්ත
9.විදුලි උපකරණ නිෂ්පාදන කර්මාන්ත
10.වානේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත
11.අත්යන්ත්ර රෙදි නිෂ්පාදන කර්මාන්ත
12.මීමැසි පෙට්ටි නිෂ්පාදන කර්මාන්ත
13.ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත
14.ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්ත
15.මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත
16.වේවැල් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත
17.පොත් රාක්ක නිෂ්පාදන කර්මාන්ත
18.පැන්ට්රි කබඩ් නිෂ්පාදන කර්මාන්ත
19. රබර් නිෂ්පාදන කර්මාන්ත
20. මැටි භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත
21. ගොඩනැගිලි ද්රව්ය සහ දැව නිෂ්පාදනය 22.ප්රතිචක්රීකරණ කරන ලද කඩදාසි නිශ්පාදන
23.කෘෂි උපකරණ නිෂ්පාදන
24. ක්රීඩා භාණ්ඩ සහ බීරලු නිෂ්පාදන
25.උළුවහු ජනෙල් නිෂ්පාදන
26.විසිතුරු මැටි භාණ්ඩ නිෂ්පාදන
27.රබර් මිශ්රිත කොහු මෙට්ට නිෂ්පාදන කර්මාන්ත 28.සුරතල් මසුන් ඇති කිරීමේ කර්මාන්ත
29.විසිතුරු මල් වගාව
30. අත්කම් නිර්මාණ කර්මාන්ත

දැකිය හැකි කර්මාන්තවේ.

📌.මීට අමතරව 16 එෆ් හලුගම ඉහළ ග්රාම නිලධාරි වසමේ අක්කර 20 කටු ගල් කර්මාන්තයට ප්රසිද්ධියක් උසුලන ප්රදේශයකි. මෙහි විශේෂත්වය වන්නේ දුර්ලභ ගණයේ කළු ගල් විශේෂයක් වන පොයික්ටි ගල් පිහිටි නිධියක් ලෙස ස්වභාවික සම්පතක් තිබීමය.
📌.ශ්රී ලංකා කර්මාන්ත ක්ෂේත්රයේ පෙරලිකාර කර්මාන්තයක් බවට පත්වු ඇඟලුම් කර්මාන්තයට විශාල සේවාවක් සිදුවන කර්මාන්ත පුර අතරින් මීරිගම කර්මාන්ත පුරයට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එවකට(1992) මීරිගම එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායක හා පශු සම්පත් හා කිරි නිෂ්පාදන දිවංගත අමාත්ය මහේන්ද්ර විජේරත්න මැතිතුමන්ගේ ඉල්ලීමක් මත මිරිගම කර්මාන්තපුරය(BOI) ආරම්භ කළ අතර ඉන් බොහොමයක් මීරිගම විරැකියාව තුරන් කිරීමට මහත් පිටුවහලක් අද ද ඇත.

📌.ගම්පහ දිස්ත්රික්කයේ මීරිගම මැතිවරණ කොට්ඨාසය පාරම්පරික වෘත්තියෙහි යෙදී ඇති ජන කොටස් පිළිබඳව සාකච්ඡා කිරීමේදී මැටි කර්මාන්තයේ හා වේවැල් කර්මාන්තයේ යෙදී ඇති ජන කොටස් සඳහා නව තාක්ෂණය හා උසස් නිර්මාණ ඇති කිරීමේ පුහුණුව අවස්ථාව ලබාදීමෙන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායි රැකියා අවස්ථාවන් වර්ධනයක් උදා කළ හැකි බව පෙනී යයි. අපනයන ප්රවර්ධන කලාපයේ ඒ හා සම්බන්ධ කර්මාන්තශාලා ආරම්භ කිරීම වැනි ක්රම මගින් හා කළුගල් ආශ්රිත අන්තර්ජාතික ප්රමිතියෙන් කළුගල් අපනයනය මගින් මෙම කර්මාන්ත දියුණු කිරීමට හැකි බව පෙනී යයි.

📌.තවද බටලීය ආශ්රිත කජු ව්යාපාරයද ජ්යාත්යන්තර ප්රමිතියෙන් යුතුව මහාපරිමාණයෙන් අපනයන කිරීමට අවශ්ය වටපිටාව සැකසුවහොත් විශාල දියුණුවක් ඒ ආශ්රිතවද ලබාගත හැක.

📌.දේශපාලනික පසුබිම
(1947න් පසු විපරම්)


මෙම කොටස ආරම්භය මා තවත් ඓතිහාසික සිදුවීමකින් ආරම්භ කරමි. එතෙක් ලංකාවේ පැවති ඩොනමෝර් ආණ්ඩුක්රම ව්යවස්ථාව අවස්ථා ගණනාවකදී සංශෝධනය ට ලක්වෙමින් පැමිණ 1947 වර්ශය වන නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් අභියස ,ලංකා දේශපාලනය සුවිශේෂී සන්දිස්ථානයකට පැමිණ තිබූ අවදියක සිදුවු මේ කථාව මෙසේ සඳහන්කරමින් ලිපිය අරඹමි..

👉සෝල්බරි සාමිගෙ අරක්කැමියාගෙ ගම වේවැල්දෙනිය හා දංඕවිටට මැදිව පිහිටි කඹුරාදෙනියය .. දවසක් සෝල්බරි සාමි තමන්ගේ අරක්කැමියට කියලා තියෙනවා " මම ඉක්මනටම යනවා මෙච්චර කල් උඹ මට උයලා කන්න දුන්නට ,මාව රැකබලාගත්තට මට ඔබට කෘතගුණ දැක්විය යුතුයි ඔබට මගෙන් මොකක්ද වෙන්න ඕන" කියලා.අර මනුස්සයා " මම කලෙ රාජකාරිය එයට මට මොකුත් අවශ්ය නෑ" කියල කියලා තියෙනවා. කොහොම හරි ආණ්ඩුකාරවරයාගෙ පෙරැත්තයට ඔහු කියලා තියෙනවා ධීර්ග කාලයක් අපි වැටෙන්නෙ පහත රටට පුලුවන්නම් මගේ ගම උඩරටට ඇතුළත් කරන්න කියලා.
📍ඒ අනුව 1947 සෝල්බරි ආණ්ඩුක්රමය ව්යවස්ථාවට අනූව පළවෙනි මන්ත්රණ සභාවට ලංකාව සීමා නිර්ණය කරනකොට පළවෙනි මැතිවරණ කොට්ඨාශ 86 ට ඇතුලත් උන සබරගමු පළාතෙ කෑගල්ල දිස්ත්රික්කයේ දැදිගම මැතිවරණ කොට්ටාශයෙ ,බස්නාහිර පළාතෙ ගම්පහ දිස්ත්රික්කයේ මීරිගම මැතිවරණ කොට්ඨාශයෙ එක් ග්රාමසේවා වසමක් (96 ගොඩවෙල වසම) වෙන්කර සබරගමුවට ඇතුළත්කරනවා. විශේෂත්වය වන්නෙ ලංකාවෙ පළවෙනි අගමැතිවරයා ඩී.එස් සෙනානායක මැතිතුමාගේ මැතිවරණ කොටාශයෙ මේ සිදුවීම සිදුවී තිබීම.අනිත් අතට එතුමන්ගෙ පුත් ඩඩ්ලි සේනානායකයන්ගෙ බල ප්රදේශය දැදිගම වීම.මේ සිදුවීම එදත් අදත් ලංකා ඉතිහාසයේ මහත්මා දේශපාලනය කියාදීපු සන්ධිස්ථානයක් ලෙස සඳහන් වෙලා තියෙනවා..ලංකාවේ ඉන්පසු සීමනිර්ණයන් ගණනාවක් සිදුවුවත් අදටත් ලංකාවෙ ඉංග්රීසි පාලනයෙ අවසන් ආණ්ඩුකාරවරයා සෝල්බරි සාමිට ගෞරවයක් ලෙස ඒ සීමා නිර්ණය වෙනස් නොකොට ලංකාවෙ සර්වජන චන්දයෙන් ප්රථම මන්ත්රණ සභාවට සීමා නිර්ණය කිරීමෙ මතක සටහනක් විදිහට වෙනස් නොකර තියෙනවා.
මේය ලංකා ඉතිහාසයේ මීරිගම සඳහන්වන විශේෂ අවස්ථාවක්.👈
📍.මීරිගම දේශපාලනය පිළිබඳව කතා කරන විට මීරිගම මැතිවරණ කොට්ඨාශය ලංකාවේ පාලකයෙක් ලංකාවේ තුන්වන පුරවැසියෙක් ,ප්රථම කාන්තා කැබිනට් අමාත්ය වරිය ඇතුළු කැබිනට් අමාත්යවරුන් බිහි කරන ලද තිබිරි ගෙයක් ලෙස සඳහන් කළ හැකියි. ශ්රී ලංකාවේ ප්රථම අග්රාමාත්යවරයා වන මහාමාන්ය ඩී.එස්.සේනානායක ශ්රීමතාණන් බිහිවූ මීරිගම මැතිවරණ කොට්ඨාසය ලංකා ඉතිහාසයේ රන් අකුරින් සටහන් වන සිදුවීමක් ලෙස සඳහන් කළ යුතුය. මීරිගම මැතිවරණ කොට්ඨාශයද අන්තර්ගතව පැවැත්වූ ලංකාවේ පළමු සර්වජන ඡන්දයෙන් මහාමාන්ය ඩී එස් සේනානායක ශ්රීමතාණන් එක්සත් ජාතික පක්ෂයෙන් ජයග්රහණය කර මීරිගම මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් එතුමා අග්රාමාත්ය ධූරයට පත්විය. එතුමන්ගේ ප්රතිවාදියා ලෙස ඉදිරිපත්වූයේ එඩ්මන්ඩ් සමරක්කොඩි මහතා වන අතර, මැතිවරණයෙදී ඩී. එස්.සේනානායකයන් ඡන්ද 26762 ලබා ගන්නා විට එඩ්මන්ඩ් සමරක්කොඩි මහතා ලබා ගත්තේය ඡන්ද 10673 කි. එතෙක් පැවති සමාජවාදී දේශපාලන ක්රමය උඩුයටිකුරු කරමින් 1947 පැවැති ප්රථම ස්වර්ව ජන ඡන්දයෙන් ලිබරල් වාදී එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්රහණයක් අත් කර ගනු ලැබීය. මෙහි ප්රතිඵලයක් ලෙස එතෙක් කිරීට විජිතයේ යටත් විජිතයක් ලෙස පැවති ලංකාව 1948 පෙබරවාරි 4 වන දින මහා බ්රිතාන්ය රාජ ආණ්ඩුවෙන් මිදි ඩොමීනියන් තත්වයක් යටතේ ඩී.එස් සේනානායකයන් විසින් නිදහස අත්කර ගන්නා ලදී.එතුමන් ජාතියෙ පියා වශයෙන් විරුදාවලිය ලබාගත්තෙ එහෙයිනි.

            මහාමාන්ය ඩී එස් සේනානායකයන් 1952දී අභාවප්රාප්ත වන විට එතුමන් අග්රාමාත්ය ධූරයේ වසර හතරකුත් මාස තුනක් සිය තනතුර ලංකා ධරණි තලය තුළ බබළවා ඇති බව ගල්ඔය ඇතුළු රජරට දියුණු කිරීමේ මහා සංග්රාමය දෙස බැලීමේදී පසක් වෙයි. එතුමාගේ අභාවයෙන් පසු අග්රාමාත්ය ධූරයට පත් වූ දැදිගම ආසනය නියෝජනය කළ එතුමන්ගෙ පුත් ඩඩ්ලි සේනානායකයන් විපක්ෂයේ ඇති කළ උද්ඝෝෂණ නිසා රජය විසුරුවා හැරීමට කටයුතු කරන ලදී.

                ඉන්පසු 1952 පවත්වන ලද මහා මැතිවරණයෙන් මීරිගම මැතිවරණ කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජේ.ඊ අමරතුංග මැතිතුමාත්, ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කේ.පී ඔබේසේකර මහතා ඉදිරිපත්විය.එහිදී ජේ.ඊ.අමරතුංග මහතා මැතිවරණය ජයග්රහණය කළ අතර ඔබේසේකර මහතා ඉන් පරාජය වූ අතර සමස්ත මැතිවරණයේ ජයග්රහණය එක්සත් ජාතික පක්ෂය සතු වෙමින් ඩඩ්ලි සේනානායකයන් අග්රාමාත්ය ධූරයට පත්වන ලදී. ඉන්පසු 1953 පැවති කෝලහලය නිසා අග්රාමාත්ය ධුරයෙන් ඩඩ්ලි සේනානායකයන් ඉල්ලා අස්වූ අතර ඒ සඳහා දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් සර් ජෝන් කොතලාවල මහතා අගමැති වශයෙන් පත්වන ලදී.

            1951 වර්ෂය ශ්රී ලංකා ඉතිහාසය තවත් සන්ධිස්ථානයක් ලෙස සඳහන් කළ හැකිය .එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ එස්.ඩබ්ලිව් ආර්.ඩී බණ්ඩාරනායකයන් එක්සත් ජාතික පක්ෂයේ කොටසක් ගලවාගෙන ශ්රී ලංකා නිදහස් පක්ෂය බිහිකරමින් වාමාංශික දේශපාලනයට නව මුහුණුවරක් දීමට කටයුතු කරන ලදී.ඉන්පසු 1952 පැවැති මහ මැතිවරණයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය පරාජය වුවද 1956 මැතිවරණය ජයග්රහණය ලංකා දේශපාලනයේ තවත් සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකිය.

📍.1956 පවත්වන ලද මහා මැතිවරණයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ විමලා විජේවර්ධන මැතිනිය මීරිගම මැතිවරණ කොට්ඨාශය ජයග්රහණය කළ අතර එම රජයේ සෞඛ්යය අමාත්යතුමිය වශයෙන් එතුමිය කටයුතු කරන ලදී. එතුමිය සමග එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදුණු ජේ.ඊ අමරතුංග මහතා එම මැතිවරණය පරාජය වූ අතර ඉන්පසු 1977 වන තෙක් ශ්රි ලංකා නිදහස් පක්ෂය වාමාංශික බලකොටුවක් ලෙස මීරිගම පත්වන ලදී. ශ්රි ලංකාවේ ප්රථම කැබිනට් අමාත්ය වරිය වශයෙන් මීරිගම රන් අකුරින් සටහන් කිරීමට ඇයගෙ එවර පාර්ලිමේන්තු නියෝජනය සමත්විය. එම මැතිවරණයේ දී අග්රාමාත්යවරයා වශයෙන් අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශය නියෝජනය කළ එස් ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා පත්වූ අතර 1959 දී එතුමා ඝාතනය විය . මෙහි තවත් විශේෂත්වයක් වන්නේ එතුමන්ගේ ඝාතන අභිරහස පිටුපස එතුමන් තැනූ සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු පංච මහා බලවේගයේ හස්තයක්ම එම ඝාතනයට හවුල් වී තිබීමයි.එතුමන්ගේ අභාවයෙන් පසු ආචාර්ය විජයානන්ද දහනායක මහතා අග්රාමාත්ය ධූරයට පත්වන ලද අතර කෙටි කාලෙකින් එතුමා රජය විසුරුවා හැරීමට කටයුතු කරනු ලැබීය.

            1960 වර්ෂය ලංකා දේශපාලනයේ තවත් කතිකාවතක් නිර්මානය කරන ලද අවස්ථාවක් ලෙස දැකිය හැකිය එනම් වසරක් තුළ මහ මැතිවරණ දෙකක් පැවැත්තවු වසරක් ලෙස සඳහන්ව ඇත. එහිදී ශ්රී ලංකා නිදහස් පක්ෂය සී.පී ද සිල්වා මැතිතුමා මෙහෙයවමින් මැතිවරණයට අවතීර්ණ වූ අතර එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණය මෙහෙයවන ලද්දේ ඩඩ්ලි සේනානායකයන් විසිනි. එහිදී නැවතත් ඩඩ්ලි.සේනානායකයන් අග්රාමාත්ය ධුරයට පත්වූ අතර මීරිගම මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ විල්. සේනානායක මැතිතුමන් එම මැතිවරණය පරාජය වෙමින් ශ්රි ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදුණු බුඩිස් ජයසිංහ මැතිතුමන් යග්රහණය කරන ලදී. ඉන් අනතුරුව පැවැත්වූ පළමු සැසිවාරයේ රාජාසන කතාව පරාජය වූ අතර ඩඩ්ලි සේනානායක රජය දින කිහිපයක් තුළ විසුරුවා හැරීමට කටයුතු කරන ලදී. ඒ අනුව 1960 ජුලි මස වන විට දෙවන වරටත් නැවත මහ මැතිවරණයක් පැවැත්විය. එම මැතිවරණය මීරිගම මැතිවරණ කොට්ඨාශය ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ශිවා ඔබේසේකර මැතිනිය ජයග්රහණය ලැබූ අතර එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්විය.. නැවත වරක් 1965 දී ශිවා ඔබේසේකර මැතිණිය ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මීරිගම මැතිවරණ කොට්ඨාශය ඉදිරිපත් වූ අතර එතුමිය නැවත වරක් මීරිගම මැතිවරණ කොට්ඨාශ ශ්රී ලංකා නිදහස් පක්ෂ බලය තහවුරු කරන ලදී.

            ඉන්පසු 1970 දී එක්සත් ජාතික පක්ෂයෙන් මීරිගම මැතිවරණ කොට්ඨාසයට තරග කල මහාචාර්ය ඩබ්ලිව් එස් කරුණාරත්න මැතිතුමන් පරාජය වෙමින් නැවතත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක් බව සපථ කරමින් මීරිගම මැතිවරණ කොට්ඨාශය ජයග්රහණය ශිවා ඔබේසේකර මැතිනිය විසින් තහවුරු කරන ලදී.
එවකට ලෝකයේ ප්රථම අග්රාමාත්යවරිය වශයෙන් ශ්රී ලංකාවේ රාජ්ය නායිකාව ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ස්වයංපෝෂිත ආර්ථික ප්රතිපත්තිය ලංකාව තුළ භූමිකම්පාවක් බවට පත්වෙමින් තිබූ අවධියක ඩඩ්ලි සේනානායකයන්ගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ජේ.ආර් ජයවර්ධනයන් පත්වන ලදී.
            1977 මහ මැතිවරණය ලංකා ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් වන අතර මීරිගම මැතිවරණ කොට්ඨාසයේ ඉතිහාසය ද වෙනස් කරමින් දේශපාලනය උඩු යටිකුරු කල වසරක් ලෙස සඳහන් කළ යුතුය. දශක දෙකකට ආසන්න කාලයක් මීරිගම මැතිවරණ කොට්ඨාසය ශ්රී ලංකා නිදහස් පක්ෂය බලකොටුවක් බවට පත්ව තිබූ අතර 1973 මීරිගම එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා බවට පත්වූ මහේන්ද්ර විජේරත්නයන් 1977 මීරිගම මැතිවරණ කොට්ඨාශය නැවතත් එක්සත් ජාතික පක්ෂය බලකොටුවක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන ලදී. එම මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ජේ.පී ඔබේසේකර මහතා පරාජය වූ අතර මහේන්ද්ර විජේරත්නයන් වරාය හා නාවික නියෝජ්ය අමාත්යවරයා ලෙස ජේ ආර් ජයවර්ධන රජයේ මීරිගම මැතිවරණ කොට්ඨාශය නියෝජනය කළේය.

            1977 වර්ෂය ලංකා දේශපාලනයට ජනාධිපතිවරණ ක්රමය ඉගැන් වූ ජේ ආර් ජයවර්ධන රජය ලංකා ආර්ථික සමාජීය දේශපාලනික වශයෙන් සීඝ්ර පෙරළියක් ඇති කළ බව ඉතිහාසය සාක්ෂි දරනු ඇත. 1977 දෙවන ජනරජ ආණ්ඩු ක්රම ව්යවස්ථාව මගින් ජනාධිපති ක්රමය ඇති කිරීමත් සමග ජේ.ආර් ජයවර්ධනයන් ජනමත විචාරණයක් පවත්වා එම ආණ්ඩුවම ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන ලදී.

               1977 යලි පෙරලියක් සිදුකරමින් දක්ෂිණාංශික දේශපාලනයේ එක්සත් ජාතික පක්ෂය බලකොටුවක් බවට පත්කළ මහේන්ද්ර විජේරත්නයන් මීරිගම මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් වරාය හා නාවික කටයුතු නියෝජ්ය අමාත්යවරයා ලෙසත් ඉන්පසු කිරි ආහාර හා පශු සම්පත් රාජ්ය අමාත්යවරයා ලෙසත් කටයුතු කරමින් මීරිගම මැතිවරණ කොට්ඨාසයට සුවිශාල සේවාවක් සිදුකළ මහජන නියෝජිතයකු ලෙස සඳහන් කළ හැකිය.

            එතුමන් සිදු කළ සේවාවන් අතර ප්රධාන තැනක් උසුලන ස්ථාන ගණනාවක් සඳහන් කළ හැකිය. එතෙක් මෙතෙක් මීරිගම මැතිවරණ කොට්ඨාශයේ විදුලිය නොමැතිව තිබූ ප්රදේශය 95% ක් පමණ ආවරණය වන පරිදි මීරිගම මැතිවරණ කොට්ඨාශ තුළ අඳුර දුරලීමට කටයුතු කරන ලදී. එතුමන් විසින් රැකියා අවස්ථාවන් 18000 පමණ මීරිගම මැතිවරණ කොට්ඨාසයට දායාද කළ අතර. මීරිගම යොවුන් නිකේතන රංග ශාලාව, විජය රජදහන නිවාස ව්යාපෘතිය, තිළිනගම නිවාස ව්යාපෘතිය, නාල්ල ගෙවල් 20 නිවාස ව්යාපෘතිය ඇතුළු නිවාස ව්යාපෘති ගණනාවක් මෙන්ම විජය රජදහන දුම්රිය නැවතුම්පළ, වදුරව දුම්රිය නැවතුම්පල,බෝතලේ දුම්රිය නැවතුම්පොළ, විල්වත්ත දුම්රිය නැවතුම්පොළ, ඇතුළු ගමනාගමනයේ මීරිගම ප්රධාන ස්ථාන සංවර්ධනය කිරීමට කටයුතු කරන ලදී. මෙම කාලවකවානුවේ මීරිගම ප්රදේශයේ සීග්ර සංවර්ධනයක් සිදු වන විට "මහපොළ" සංවර්ධන ව්යපෘතිය මගින් මීරිගම මැතිවරණ කොට්ඨාශයට විශාල මෙහෙවරක් ළඟා කර දීමට මහෙන්ද්ර විජේරත්නයන් කටයුතු කළ ඇති බව පෙන්වා දිය හැකිය.

            එතුමන්ගේ අභාවයෙන් පසු මීරිගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබුයේ උදේන විජේරත්නයන් වන අතර ඊට සමකාලීනව ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මීරිගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් වූ නාමල් ගුණවර්ධන ගුණවර්ධනයන්, මීරිගම මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ වසන්ත සේනානායකයන් සිටි අතර පසුගිය බස්නාහිර පළාත්සභාවේ මීරිගම ඒ.ජා.ප මන්ත්රීවරයෙක් වශයෙන් ජනතාමෙහෙය සිදුකරන ලදී.එමෙන්ම වර්ථමානයෙ 2020 මහමැතිවරණයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කෝකිලා හර්ෂණී ගුණවර්ධන මැතිණිය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබයි.ඇයගේ ප්රතිවාදියා ලෙස වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මීරිගම ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක තිලක් අශෝක මැතිතුමන් කටයුතුකලේය.

            මහේන්ද්ර විජේරත්න මැතිතුමන්ගේ අභාවයෙන් පසු මීරිගම මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබුණද මීරිගම මැතිවරණ කොට්ඨාශ ජන්ම ලාභය ලැබූ ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය 8 වන පාර්ලිමේන්තුවේ ගරු කථානායක වශයෙන් තේරී පත්වීමට කරු ජයසූරිය මැතිතුමන් භාග්යය උදාකර ගත් අතර එතුමන් විසින් ඊට පෙර විදුලි බල හා බලශක්ති අමාත්ය , රාජ්ය පරිපාලන අමාත්ය ,ඇතුළු අමාත්යාංශ ගණනාවක අමාත්යවරයකු වශයෙන් කටයුතු කර ඇති පරිණත දේශපාලකයකු ලෙස සඳහන් කළ හැකිය.

📌.එතුමන් කථානායක ධුරය හොබවන කාලවකවානුවේ මීරිගම මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ බස්නාහිර පලාත් සභා මන්ත්රි උදේන විජේරත්නයන් වන අතර එම දෙපළගේ සුසංයෝගයෙන් මීරිගම මැතිවරණ කොට්ඨාශයේ 2015 සිට 2019 දක්වා කාලවකවානුවේ රුපියල් ලක්ෂ 95000 වැඩි දැවැන්ත සංවර්ධනයක් මීරිගම මැතිවරණ කොට්ඨාසයට උදාකර දීමට කටයුතු කළේය. කරස්නාගල ජල ව්යාපෘතිය, මීරිගම නව වෙළෙඳ සංකීර්ණය, ග්රාමීය පාලම් ව්යාපෘති ,කරූ ජයසූරිය මැතිතුමන්ගේ සංකල්පයක් මත දැයට දායාද වූ සේවා පියස 56 ක පමණ ප්රමාණයක් ඇතුළු අති දැවැන්ත සංවර්ධනයක් මෙම කාල වකවානුව තුළ උදේන විජේරත්නයන්ගේ මෙහෙයවීම මත මීරිගම මැතිවරණ කොට්ඨාසය තුළ සිදුවූ බව සඳහන් කළ යුතුය.

👉.මීරිගම එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ තවත් වැදගත් ස්වභාවයක් වන්නේ තමන්ගේ පෞද්ගලික ධන පරිත්යාගයෙන් පාරම්පරික දේපල ජනතාවගේ පරිහරණයට ලබා දීමයි.ඩී.එස් සේනානායකයන් කීදෙනිය මහා විද්යාලය භූමියත්, බෝතලේ කනිෂ්ඨ විද්යාල භූමිය ඇතුළු ඉඩකඩම් රාශියක් ජනතාව අතරේ බෙදාදීමට කටයුතු කළ නායකයෙකු ලෙස සඳහන් කළ හැකිය. මෙම ඉඩම් බෝතලේ සේනානායක වලව්වට අයත් පාරම්පරික පෞද්ගලික ඉඩම් වීම විශේෂ කාරණයක් ලෙස පෙන්වා දිය හැකිය.

👉ඉන්පසුව මීරිගමින් බිහිවූ එක්සත් ජාතික පක්ෂය නායකයෙකු වන ජේ.ඊ අමරතුංග මැතිතුමන් විසින් මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරය අයත් භූමියත්, මීරිගම පොලිස් ස්ථානය, මීරිගම තැපැල් කන්තෝරුව ,මීරිගම ප්රාදේශීය සභාව පිහිටි භූමියක් තමන්ගේ පෞද්ගලික දේපොළ ජනසතු කිරීමෙන් දේශපාලනය කළ මීරිගම තවත් නායකයෙකු ලෙස සඳහන් කළ හැකි. එමෙන්ම මීරිගම රෝහල පිහිටි භූමියත් අමරතුංග මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් මීරිගම සමස්ත ජනතාවටම භුක්ති විදීමට එතුමන් විසින් ප්රධානය කළ තම පාරම්පරික උරුමයක් බව ශීර්ෂ නමස්කාර පූර්වකව සිහිපත් කරන්නට කැමැත්තෙමි.

👉මහේන්ද්ර විජේරත්නයන් ගැන සඳහන් කිරීමේදී මීරිගම සමූපකාරය පිහිටි ඉඩම, විල්වත්ත ආදාහනාගාරය තිබෙන ඉඩම, මීරිගම කනත්ත වගේම, ලොලුවාගොඩ කණිෂ්ඨ විද්යාලය අයත් ඉඩම ,ලෝලුවාගොඩ මහේන්ද්රාරාම විහාරස්තානය පිහිටි ඉඩම හා ලෝලුවාගොඩ සුසාන භූමිය පිහිටි ඉඩම මහේන්ද්ර විජයරත්න යන්ගේ පෞද්ගලික දේපොළ පරිත්යාගයෙ කොටසක් ලෙස සඳහන් කළ යුතුය.

👉.තම පියාගේ අඩි පාරේ යමින් කටයුතු කළ මීරිගම නායකයකු ලෙස උදේන වි්ජේරත්නයන් තමන්ට හිමි ඉඩමෙන් සේවා පියසක් ඉදිකිරීමටත්, මීරිගම රෝහල් භූමියේ අසන්නයේ ඇති මාවීහේන ජල ව්යාපෘතියට ජලය සැපයන ස්ථානය උදේන විජේරත්න යන්ගේ පරිත්යාගයන් ලෙස සඳහන් කළ යුතුය.

මීරිගම දේශපාලනය පිළිබඳව කතා කිරීමේදී පක්ෂය විපක්ෂය නායක කාරකාදීන් පිළිබඳව සාකච්ඡා කිරීමට බොහෝ කරුණු ඇතත් ,මෙය අතීතය නොදත් බොහොමයකගේ දැනුවත් වීම උදෙසා සකසන ලද ලිපියකි.මෙම ලිපිය සකසන මොහොත වන විට මීරිගම පාර්ලිමේන්තු නියෝජනය කෝකිලා ගුණවර්ධන මැතිණිය සිදුකරන අතර එතුමිය මීරිගමට සිදුකරන සේවය දෙස අප විමසීමෙන් සිටිමු. තවද ලංකා දේශපාලනයේ මීරිගම මැතිවරණ කොට්ඨාශය වමේ හෝ දකුණේ බලකොටුවක් නොවන බව ඉතිහාසය ගවේශනයේ දී හඳුනාගත හැකි බව අවසන් වශයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි.

📌👉.(ඡයා රූපයේ වමේ සිට -
ශ්රී ලංකාවේ ප්රථම අග්රාමාත්ය ඩී.එස්.සේනානායක මැතිතුමා.
විමලා විජේවර්ධන මැතිණිය,ශිවා ඔබේසේකර මැතිනිය,කොකිලා ගුණවර්ධන මැතිනිය,උදේන විජේරත්න මැතිතුමා, කරු ජයසූරිය මැතිතුමා, මහේන්ද්ර විජේරත්න මැතිතුමා)👈

------------------------------------------------------------------------------------

බොහො දෙනෙකු මීරිගම පිළිබඳ විස්තර සොයනු දක්නට ඇති අතර ඔවුන් වෙනුවෙන් මෙය සැකසීමට කටයුතු කළ අතර දැණුම පිපාසෙන් යන ඔබට දිය පොදක්වෙවායි පතන අතර මෙම ලිපි මාලාව සමග රැඳී සිටි ඔබට ස්තුතිය පලකරමි.

Friday, May 29, 2020

මේ බව මුගලන්ටත් කියන්න...

 "පුවතක්- අදින් මාස හයකට පමණ අසන්න කාලයක නල්ලතන්නියේ සිරිපා අඩවියේ හමුවූ දුර්ලභ කළු කොටියා පසුගියදා මද්දට හසු වී සිදු වී තිබූ තුවාල හේතුවෙන් මිය ගොස් ඇත.. එම දුර්ලභ සත්වයා බේරා ගැනීමට වන සංරක්ෂණ වෛද්‍යවරු දැඩි උත්සහයක් දැරූ බවත් පැවසේ.. එම ඉතා කණගාටුදායක පුවත සමඟ ලංකාවේ කළු කොටින්ගේ අවසානය බොහෝ විට මෙය වීමට හැකිය." 
අපකොතනක සිරවීද 
අපගේ වෙනස් වියයුතු තැන් කොතනද යන්න අප හරිහැටි අවබොධ කරගෙන සිටියිද. මෙයට වගකිවයුතු මද්ද ගැසූ පුද්ගලයාට නියමිත දඬුවම කුමක් විය හැකිද.. මහාපරිමාණ වංචා දූෂණ කළ උන්ගෙ දඩයද අපදුටුවෙමු.මේ වටිනා සත්වයාගෙ අගය රුපියල් පනහක් සීයයක් වනු ඇත... වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත ශක්තිමත් කරනවානම් මුගලන්,ගල්ගමුව දළපූට්ටුවා වැනි කතිකාවක් ගොඩනැගූ ගාතන මෙන්ම 2019 ඔක්තොබරය කළුකළ ඇතින්නියන් ගාතනය වැනි හඬක් නොමැති ප්‍රානීන්ට සාධාරණක් ඉටුකළ හැකිවනු ඇත. වෙසක් පුන් පොහෝ දින වෙඩි පහරින් මියගිය මිනිසාගෙ පරම මිතුරා යැයි උදම් අනන සත්ත්වයාද.පොසොන් පොහොය පෙනිපෙනී තිබියදී මෙලොව හැරයන නල්ලතන්නියෙ කළුවාද අපගේ භක්තිමත් ආගම්වාදය මනාව කියාපාන සාධකය. මෙලොව වසන සතුන්ගෙන් මිනිසා තරම් උතුම් මෙන්ම පාහර සත්වයෙක්ද තවත් නැත.බුදුන්වහන්සෙ, ක්‍රිස්තුස්වහන්සේ ,ශිව දෙවියන්, නබි නායක තුමන් වැනි ශ්‍රේෂ්ඨ මිනිස්සුන් වාසය කල මේ පොළොතලයෙ සත්වයින්ට කෙතරම් ආදර කරුණාවක් දැක්වූවොද.. අවාසනාවක මහත නම් ඒ මහා පුරුෂයන්ගෙ අනුගාමිකයන්, බැතිමතුන් යැයි පුරාජේරු දොඩවන කාලකන්නි මිනිසුන් සමස්ථ මිනිස් සංහතියටම නිගා කරමින් සිදුකරන මේ ක්‍රියාවන් හට දිනක සොබාදහමෙන් වන්දි ගනු ඇත.. 
 මාස දෙකක් නිවාස අඩස්සියෙ සිටි මේ මිනිස් සත්වයන් නිදහස් වි දින කීයද.. 
 "අප දියුණුයි දියුණුයයි උදම් ඇණුවාට අප තවමත් නොදියුණු ගල්යුගයෙ මිනිසුන් වෙමු. ඔබව රැක ගැනීමට නොහැකි වූ මාද අයත්වන මේ මිනිස් සංහතිය පිළිබඳ අප්‍රමාණ කණගාටුවක්, කලකිරීමක් ඇති මුත් ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටිමි....
නුඹ වැනි නිහඬ ජීවිත ගැන හඬක් එක් කරන සැමට ස්තූතිවන්ත වෙමි. නැවත වරක් මෙවන් නින්දිත මිනිස්සුන් නැති තැනක ඉපදේවායි ප්‍රාර්ථනා කරමි.

සුභ ගමන් කලු මිත්‍රයා...මේ බව මුගලන්ටත් කියන්න.."

 -ඊෂණ-

Saturday, November 30, 2019

කෛරාටික දේශපාලනය ඩැහැගන්නා තරුණ්‍යයෙ හසරැල්ල

  ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අති විශිෂ්ට වූ සුවාසුදහසක් ධර්මස්කන්ධය අතරින් පන්සිල් පද පහ සිංහල බෞද්ධයා අතර නිරතුරුවම භාවිතයේ පවතින මුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනුයේ අතලොස්සක් පමණ වූ කොට්ඨාසයක් පමණි .තාරුණ්‍ය ගැන කතා කරන විට බුදුදහම පිළිබඳව සදහනක් වන්නේ මන්දැයි ඔබ සිතනවා විය හැක. මන්ද ලොව්තුරු බුදු දහමලො ශ්‍රේෂ්ඨතම දර්ශනය ලෙස සියලු දාර්ශනිකයින් මතවාදීන් අවිවාදයෙන් පිළිගෙන ඇත . උන්වහන්සේ සරකාණි සූත්‍රයේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන ලෙස එනම් එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරන ලෙස සරකානි සිටු පුත්‍රයාට බුදුන් වහන්සේ දේශනා කළ සේක .මෙම ලිපියේ අන්තර්ගතය බොහෝදුරට වත්විමන් ශ්‍රී ලාංකේය තාරුණ්‍ය විචක්ෂණශීලී මනසකින් දේශපාලනය දෙස බැලිය යුතු බව පවසමි.

ලංකා දේශපාලනය තාරුණ්‍යයේ ආකල්ප සමග එකට මුසුවී දුරාතීතයේ පටන්   ශ්‍රී ලාංකික තරුණ්‍ය යේ හොඳට මෙන්ම නරකට ද බලපා ඇත . තරුණයන්ගේ නිර්මාණශීලීත්වයත් ,
ලේ කකියන උද්වේගකර මනසත් දේශපාලකයා එදා සිට තමන්ගේ බලය ස්ථාපිත කිරීම උදෙසා ඉතාමත් නිර්ලජ්ජිත ලෙස භාවිතා කළ බව සඳහන් කළ යුතුය .ලංකාවෙහි මැතිවරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක වූ විසි වෙනි සියවසෙහි දෙවැනි දශකය කුල පදනම සලකා බලා සමාජීය ඥානයකින් තොරව මහජන නියෝජිතයින් තේරීපත් වූ අවධියකි 1912 පැවති මැතිවරණයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා පොන්නම්බලම් රාමනාදන් තේරීපත් වූයේ බහුතර සිංහල ඡන්දදායකයන්ගේ ඡන්දයෙන් 1919 දී ආරම්භ කරන ලද ලංකා ජාතික සංගමයෙහි බහුතර සිංහල ජාතිකයන්ගෙන් සමන්විත වූ අතර එහි ප්‍රථම සභාපතිවරයා ලෙස පත්වූයේ පොන්නම්බලම් අරුණාචලම්ය. තවද එකල දේශපාලනයට මෙන්ම තාරුණ්‍යට ද අවශ්‍ය වූයේ රටේ ජාතිකත්වය ආරක්ෂා කරමින් කිරීට විජිතයෙන් නිදහස ලබාගැනීමය. එදා සිටි ජාතික නායකයින් මෙම තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන රට තුළ ජාතික සංගමය මෙන්ම හලාවත සංගමය ,කුරුණෑගල සංගමය ,යාපනය සංගමය ආදි තරුණ සංගම් මෙන්ම තරුණ බෞද්ධ සංගම් තරුණ හින්දු සංගම් මෙන්ම තරුණ මුස්ලිම් සංගම්ද ඇති කරමින් එදා ජාතික අරගලයකට තාරුණ්‍ය මෙහෙයවූයේ ප්‍රශස්ත අන්දමිනි.
1948 නිදහස ලබා ගැනීමත් සමග නැවත වරක් ජාතිකවාදී අදහස් කෙමෙන් කෙමෙන් තමන්ගේ බලය ස්ථාපිත කර ගැනීම සඳහා දේශපාලකයින් භාවිතා කිරීම දක්නට ලැබුණු කරුණක් වෙයි. 

ජාතිවාදය පසෙක තබා කුල වාදය මුල්කරගෙන ලංකා දේශපාලනය ඉදිරියට ගෙන යාමට එවකට දේශපාලකයින් අරඹා තිබුණු සමයක තාරුණ්‍ය තුල හටගෙන තිබූ යුගය්වෙ අවශ්‍ය තාවයක් ලෙස සමානාත්මතාවයෙන් යුතුව සියලු වෘත්තීන්ට ගරුකිරීම යන සංකල්පය මත පිහිටමින් ගමින් ගම දොරින් දොර තරුණ හදවත් තුළ පවසමින් තිබූ ඔවුන්ගේ අවශ්‍යතාවය 1956දී එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයන් නිසි ආකාරයෙන් ම අවබෝධ කරගනිමිනි සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය පෙරටු කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් එක්සත් ජාතික පක්ෂයෙන් බාදී ගොස් නව පක්ෂයක් පිහිටුවා වමේ ප්‍රබලතම බලවේගය බවට පත්වෙමින් ලංකාවේ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.
එදා එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ව බෝධ කරගත් ඒ තාරුණ්‍යයේ අවශ්‍යතාවය තමන්ගේ බලය ස්ථාපිත කිරීමේ යතුර ලෙස පාවිච්චි කරේ ඉතාමත් තීක්ෂණ අයුරිනි.
මා මෙය සඳහන් කරන්නේය ලංකා ඉතිහාසයේ විශේෂිතම අවස්ථා කිහිපයක් ඇසුරෙන් තාරුණ්‍යයේ අවශ්‍යතාවය දේශපාලනික කෛරාටිකකම් වලට හසුවන අන්දම පෙන්වා දීමටය.
මීළඟට 1970 දශකය පමණ වනවිට තාරුණ්‍ය තුල නැවත වරක් විරැකියාව ,නවදේශපාලන මානයකට රට ගෙනයෑම වර්තමාන භාෂා භාවිතයෙන් කිව්වොත් system change එකකට එකල තාරුණ්‍යය ද යත්රුනදැරුවේ ය එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ අධ්‍යාපනය හදාරමින් සිටි ලංකාවේ අග්‍රගණ්‍ය බුද්ධිමතෙකු වන්නට අවස්ථාවක් තිබූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන් ලංකා තාරුණ්‍යයේ අවශ්‍යතාවය වටහා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ගොඩනැඟී තිබූ සමාජවාදී සාම්ප්‍රදායික දේශපාලනික පක්ෂ වෙනුවට තාරුන්නයේ සිත් ඇදබැඳ ගන්නා  විමුක්ති අරගලයක් පෙරටු කරගනිමින් නව  ප්‍රවාහයකට ආරම්භය ලබා දුනි එහි අවසන් ප්‍රතිඵලය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් ප්‍රථම වරට විමුක්ති අරගල කාමීන් මර්දනය කිරීම අරඹන ලදී. ඉන් පසු බිහි වූ ජේ ආර් ජයවර්ධන රජය සිංහල විමුක්තිකාමීන් උදෙසා තරුණයින්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ජාතික තරුණ සේවා සභාවවැනි ආයතන පිහිටුවමින් තරුණයින්ගේ සුබසිද්ධිය උදෙසා ඔවුන්ගේ නායකත්ව අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීම සඳහා මාවත් විවර කර දෙන ලදී එක් අන්තයක් එසේ සිදු වන විට උතුරේ අනිත් අන්තයෙන් ජාතිවාදය ආරම්භ වී තිබිනි.

දෙමළ තරුණයින්ගේ අවශ්‍යතාවය හඳුනාගත් දෙමළ දේශපාලන නායකයින් දශක ගණනාවක් පුරාම සිංහලයාගෙන් දමිළයන්ට සිදු වූ දේශපාලනික කෙනෙහෙලිකම් මත තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ගොඩනැංවීම උදෙසා දමිල තාරුන්‍යයේ ඉහත කී අවශ්‍යතාවය ප්‍රයෝජනයට ගනිමින් එල් ටී ටී ඊ සංවිධානය ආරම්භ කිරීම සඳහා දමිළ තරුණයින්ට අවශ්‍ය දේශපාලනික සහය ලබා දුන්නේය .එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ශ්‍රී ලාංකිකයින් වසර තිහකට වැඩි කාලයක් ජනවාර්ගික කුරිරු යුද්ධයකට හසුවෙමින් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට තවදුරටත් ශ්‍රී ලංකාව පත් කරන ලදී. 

කෙමෙන් කෙමෙන් දේශපාලනික උගුල් වලට හසු වූ ශ්‍රී ලාංකීය තාරුණ්‍යය වර්තමානය වන විට ද දේශපාලඥයින්ගේ රාටික භාවය අවබෝධ කරගෙන නොතිබීම ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අවාසනාවක් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමාන තත්ත්වය උඩ 2015 වසරේදී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය උඩු යටිකුරු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ එකල තරුණයාට අවශ්‍ය වූ වෙනස සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙසය එනම් මහින්ද රාජපක්ෂ රජය තුළ තිබූ වංචා දූෂණ
හොරමැරකම් සඳහා විරෝධය පාමින් තාරුණ්‍යට කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් රට තුළ උද්ගත වෙමින් තිබුණු වානුවක එයට විකල්ප සොයමින් සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ සටනට යොමු කරවන්නේ තාරුන්‍යයේ සිත්සතන් තුළ යුගයේ අවශ්‍යතාවයක් බවට පත්වී තිබූ හොර මැරකම් වලින් තොර රටක් බිහි කිරීම යන තරුණ අවශ්‍යතාවය මල්ඵල ගන්වනු පිණිසය.
නැවත වරක් තාරුණ්‍යට කොකා පෙන්වමින් එම බිහිවූ යහපාලන රජය අල්ලපු හොරෙක්වත් දූෂණ-වංචා වක් වත් රටට හෙළි කළේ නැත.
ඉන්පසු මුලුමහත් ලෝකය පුරාම පැතිරෙමින් තිබූ පරිසර ආරක්ෂා කිරීම පරිසරය සුරැකීම යන තරුණ යුගයේ අවශ්‍යතාවය තේරුම් ගත් පරාජය වූ රාජපක්ෂ වරුන් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අවශ්යතාවය බවට විල්පත්තු වනෝද්‍යානයේ සංහාරය කරළියට ගෙනාවේය. එහිදී එම සංහාරයට මුල්වු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහයෝගය දෙන කිසිදු දේශපාලනික පක්ෂයකට චන්දය දෙන්න එපා යැයි මතවාදයක් ලංකාව පුරාම පැතිර වීය .

අවසානය්දී ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ ලංකාවේ තාරුණ්‍ය නැවත වරක්රැවටීමකට ලක් කරමින් විල්පත්තුව වෙනුවෙන් පෙනී සිටි සමස්ත ශ්‍රී ලාංකික තාරුන්‍යය මහා පාවාදීමකට ලක් කළේය. මෙම ලිපිය සකසන මොහොත වනවිට වර්තමාන තාරුන්‍යයේ දිශා නතිය යොමු වෙමින් තිබෙන්නේ පරිසර අලංකරනය පරිසර සුන්දරත්වය වර්ධනය යන තරුණ්‍යයේ නර්මාණ ශීළී සිතැඟි උදෙසාය.
තාරුන්‍යයේ මෙම නිර්මාණශීලී අවශ්‍යතාවය කෛරාටික දේශපාලනඥයින්ගේ අවියක් බවට කෙමෙන් කෙමෙන් පත්වෙමින් ඇත. මෙම හසරැලි රැලි බවට පත්වී කැරලි බවට පත්ව තරුණ්‍යයේ උසස් සාතුවිලි තිඹිරිගෙය තුළම මියයන්නෙ අසික්තකිත දේශපාලනය අතපෙවීම මතය. 
මෙම කරුණ හරියාකාරයෙන් අවබෝධ නොකරගන්නා තාක්කල් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ අවස්ථාවාදී දේශපාලකයාන්ගේ වහල්බාවයට ගොදුරු වීම නොවැලැක්විය හැක. මෙම තත්ත්වයට  හේතුව නම් ශ්‍රී ලාංකීය තරුණ්‍යය මොළයෙන් නොව හදවතින් ක්‍රියාත්මක කරන සිතුවිලි මත පදනම්ව කටයුතු කරන තරුණ සමාජයක් වීම මෙයට මූලිකම හේතුවයි.
ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ සරකානි සූත්‍රයේ දේශනා කරන ලද යෝනිසෝ මනසිකාරයෙන් යුතුව නොඑසේනම් එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරන විචක්ෂණශීලී තරුණ පරපුරක් ශ්‍රී ලංකාද්වීපයේ බිහිවේවායි ප්‍රාර්ථනා කරමින් මෙම සටහන මෙසේ තබමි.

Thursday, February 28, 2019

ජනාධිපති ඒබ්රහම් ලින්කන් තම පුතාගේ ප්‍රධාන ආචාර්යතුමාට යෑවූ ලිපිය

මෙම ලිපිය ඇමරිකා එක්සත් ජනපදයේ 16වන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ විශිෂ්ට රාජ්‍ය නායකයකුවන  වන ඒබ්රහම් ලින්කන් විසින් තම පුතා ප්‍රථම වරට පාසල් යන අවස්ථාවේ පාසලේ ප්‍රධාන ගුරුවරයාට ලියූ ලිපියකි. මෙය අධ්‍යාපනය තුලින් සත්‍ය වශයෙන්ම ලැබිය යුතු වටිනා කරුණු රාශියක් ඇතුලත් මේ ලිපිය සර්වකාලීන ලියවිල්ලක් ලෙස වර්තමානයේදීත් පළිගනී. මෙය කියවිය යුතුම ලිපියකි.

ඔබ මා පුතණුවන්ට ඉගැන්විය යුතු දෑ එමටය. මා දන්නා පමණින් ඉන් සමහරකි මේ.

මිනිසත් බව ලත් මුත් සියල්ලෝම සත් ගුණවත් නොවන බවත්සත්දම් නොදන්නෝ බවත් මා පුතුට පහදා දෙන්න.

කපටින්සැමහට එරෙහිව නැගී සිටින වීරයන් ඇත. දෝත පුරා බැංකු තර කරන පාලක නිහීනයන්ට පාඩම් ඉගැන්වීමට ඇප කැප වූ නායකයන්ද ඇති බව මා පුතනුවන්ට කියා දෙන්න.

සතුරුකම් කරන දුදනන් පරයා කලණ මිතුදම් රකින සුදනන් ඇති බව උගන්වන්න.

අහස් කුසේ නිදහසේ පියාසරකරන සියොතුන් හිරු කිරණින් ඔද වැඩුණු මී මැස්සන් නිල්වන් මිටියාවත බබලවන වනමල ආදිය නරඹමින් ඒ තුල සැගවුණ සදාකාලික අභිරහස් ඉගි මගින් ඉගෙන කුල්මත් වීමටද කාලය මිඩංගු කරන්න

පාසල් විභාග වලින් අසමත් වීම වංචාවෙන් සමත් වීමට වඩා නම්බුකාර බවත් යුක්ති යුක්ත බවත් අගයන්න.

නිරවද්‍ය තම මතයට කොයි කවුරු අව කැපුවත් අදිටනෙන් එල්බ සිට නිවැරද්දම තහවුරු කිරීම පිණිස දිරි දෙන්න.

මෙත් කුළුණෙන්ද සැර වැරෙන්ද හික්මිය යුත්තන් සිටින බව පහදා දෙන්න.

අනුකරණය කොපමණ පලදායී වුවත් ආත්ම ශක්තියේ අගය අමිල බවත් උගන්වන්න.

අන් මනු වදන් මැන කිරා බලා සත් වදන් සමග උරගා බලා හොද නරක වෙන් වෙන්ව පෙරා හොද දේ පමණක් ඇගයීමට උගන්වන්න.

දුකේදී පවා සිනාසීමට උගන්වන්න හැකි නම් මැනවි.

වැඩි කල් ගතවුවත් තම වෑයමෙන් උපයා ගත් සොච්චම උරුම වූ දායාදයට වඩා නම්බුකාර බව හැකි නම් උගන්වන්න.

පරාජය පිළිගැනීම මෙන්ම ජය පැන් බීමටත් උගන්වන්න.

ඔබට හැකි නම් අව්‍යාජ සිනහවේ රහස උගන්වන්න. 

අයුතු බලපාන තක්කඩියන් මැඩලීම වඩා පහසු බව ඉක්මනින් වටහා ගන්නට ඉඩ සලස්වන්න.

පොත පතෙහි සැගවුණ රමණීය සුන්දරත්වය උරා බොන හැටි හැකිනම් කියා දෙන්න.

කදුළක් හෙලීම ලැජ්ජාවක් නොවන බව පවසන්න.

සමච්චලය මායිම් නොකරන්නටත් චාටු පැසසුමෙන් නොරැවයෙන්නටත් දිරි දෙන්න.

ශ්‍රම ශක්තිය හා ඥානය වැඩි මිලට තක්සේරු වන මුත් ළබැදියාව සහ ආත්ම ගරුත්වය සැමදා අමිල බවත් ම පුතණුවන්ට පහදා දෙන්න.

බෙරිහන් දෙන සටන් පාඨවලට කන් නොදී හද තුළ කා වැදී ඇති සත්‍යන් වෙනුවෙන් සටන් වදින්නට ම පුතණුවන් හික්මවන්න.

ඔවුට කරුණාවෙන් සලකන්න. වැඩි ආදර සැලකුම් නොදක්වන්න. ඉස්තරම් වානේ පදම් වන්නේ ගිණියම් උදුණකිනි. ඉවසීමෙන් ඔහු නිර්භීත විය යුතුය.

සැමදා සිතතුල රැව් දෙන සත්ගුණ ඇදහීමෙන් පොදු මානව බැතිදම් ලියලන බව ඒත්තු ගන්වන්න.

මෙය ඉතා බැරෑරුම් අපේක්ශාවකි. හැකි පමණින් ඉටු කරන්න. මගේ පුතා ඉතා විනීත දරුවෙකි.