Thursday, March 31, 2022

කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය

 ☝️“සෑම මිතුරකමක්ම පසුපස කවර හෝ පුද්ගලික අවශ්‍යතාවක් ඇත. එසේ නොවන මිතුරුකම් නැත. කටුක මුත් සැබෑ සත්‍යය එයයි.” - 

_______________________________


___

📌-කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රය-

---------------------------------------------------


             බුද්ධ කාලීන භාරතයේ එක් සිදුවීමකින් මේ කතාවට මුල පුරමු..ගංගා නම් නදිය අසබඩ දියමන්ති ආකරයක් තිබුණි(මෙය ගංගානම් නදියේ ජලය ලෙසද කියයි). මෙම ආකරයෙන් ලැබෙන දියමන්ති සමසේ බෙදා ගන්නට වජ්ජි පුත්‍ර ලිච්ඡවින් හා අජාසත්ත රජු අතර ගිවිසුමක් තිබුණි. නොසැලකිල්ල නිසා අජාසත්ත රජු ඔහුගේ කොටස නියමාකාරයෙන් ලබා ගන්නට උත්සුක නොවීය. ඒ නිසාම ආකරයෙන් ලැඛෙන සියලූ දියමන්ති තමන් සන්තක කර ගන්නට වජ්ජීහු සමත් වූහ. දිගින් දිගටම සිදුවෙමින් පැවති මෙම අකටයුත්ත නිසා අජාසත්ත රජුට ලිච්ඡවීන් ගැන තිබුණේ දැඩි වෛරයකි. 

           යුද්ධයකින් ලිච්ඡවීන්ව පරාජය කිරිමේ දුෂ්කර බව දත් අජාසත් රජු වස්සකාර නම් තමාට ඛෙහෙවින් හිතවත් ඇමතිවරයෙක් බුදුන් වහන්සේ කරා යොමු කළේ ලිච්ඡවීන්ව පරාජය කළ නොහැකි වන්නට හේතු වූ කාරණා විමසා බලන්නට ය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලිච්ඡවීන්ව පරාජය කිරීමට නොහැකි කරුණු හතක් 

👉 සප්ත අපරිහානී ධර්ම – ගෙහැර දැක්වූහ. 

🔺නිතර නිතර එක් රැස්වීම, 

🔺සමඟියෙන් රැස්ව සමඟියෙන් ක්‍රියා කොට සමඟියෙන් විසිර යාම, 

🔺නොපැනවූ නීති නොපැනවීම සහ පැන වූ නීති කඩ නොකිරීම, 

🔺වැඩිහිටියන්ට ගරු කිරීම, 

🔺විවාහ නොවූ කුල කුමරියන්ට ආරක්ෂාව සැලසීම, 🔺වජ්ජි ජනපදයෙහි හා පිටත පූජනීය ස්ථාන වලට ගරු කිරීම, 

🔺තම ජනපදයට පැමිණෙන රහතන් වහන්සේට පහසුකම් හා ආරක්ෂාව ඇති කිරීම 

            යන කරුණු සත එම අපරිහානී ධර්මයෝ ය. මෙම සිද්ධියට අදාල කාලය ආසන්න වශයෙන් 

ක්‍රි. පූ 490 – 492 ත් අතර විය හැකිය.


🏴 වජ්ජීන්ට අනුව වස්සකාර යනු ඉතා කූඨ ඇමතියෙකි. 

🏁 අජාසත්තට අනුව වස්සකාර ඉතා ශූර ඇමතියෙකි. 

          කෙසේ වුවත් වස්සකාරට සමාන අයෙක් ඉහත සිදුවීමට පසුව, ක්‍රි. පූ 371 – 283 ත් අතර කාලයේ ජීවත් වූ “අර්ථ ශාස්ත්‍ර” කතු කෞටිල්‍ය හෙවත් චානක්‍ය ය. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය වනාහී එදා මෙදාතුර පාලකයන් වෙනුවෙන්ම ලියවුනු සවිස්තරාත්මක දේශපාලන ග්‍රන්ථයකි.

          චාන්‍යකගේ අදහස් වලට ඛෙහෙවින් සමාන අදහස් දැරූ අයෙකි, ඔහුගෙන් වසර 1800 කට පසු ඉතාලියේ ජීවත් වූ මකියාවේලි. 

👉මකියාවේලි ලියු “කුමාරයා” සහ 

👉චාන්‍යකගේ “අර්ථ ශාස්ත්‍රය” අතර

          සමානකම් මෙන්ම වෙනස්කම්ද තිබේ.


           කෞටිල්‍ය නොහොත් චානක්‍ය ගැන තොරතුරු දැක්වෙන ග්‍රන්ථයන් අතර මහාවංශය වැදගත් තැනක් ගනී. කාලයේ වැලිතලාවෙන් වැසී යන ඉන්දියාවේ කෞටිල්‍ය ගැන තොරතුරු ලෝකයාට මුලින්ම ලැඛෙන්නේ මහාවංශයෙනි. එයින්ම මහාවංශයේ වැදගත්කම මොනවට පැහැදිලි වන්නකි. ශත වර්ෂ ගණනාවක් අතුරුදන්ව පැවති කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍ර කෘතියේ තල්පත් වල ලියවුනු පිටපතක් හමුවන්නේ ක්‍රි. ව 1904 දී ය. එවක පටන් බටහිර ලෝකයා චාන්‍යක ගැන අධ්‍යයනය කරන්නට පටන් ගත්හ.


           චාන්‍යක ගැන තොරතුරු විවිධ මූලාශ්‍ර වල විවිධාකාරයට දැක්වේ. බෞද්ධ මූලාශ්‍ර වලට අනුව චානක්‍ය විරූපී අයෙකි. ඔහුගේ දත් කැඩී තිබුණි. දෙපා ඇදව පිහිටා තිබුණි. නන්ද අධිරාජ්‍යා විසින් එක්තරා අවස්ථාවකදී තමන්ව හෙළා දැකීම ගැන උරණ වූ චානක්‍ය පළායන්නේ කවදා හෝ නන්ද අධිරාජ්‍යයා බලයෙන් පහකරන බව සපථ කරමිනි. ඒ සඳහා ඔහු දෙදෙනෙකු උපයෝගී කර ගනී. එක් අයෙකු නන්දගේ පුත් පබ්බත ය. අනෙක් අය නම් පියා අහිමිව දඩයක්කාරයෙකු විසින් ඇති දැඩිකරගත් තවත් රාජකුමාරයෙකු වූ චන්ද්‍රගුප්ත(ධර්මාශෝකගෙ පියා)  ය. චානක්‍ය දඩයක්කරුවාට කහවනු දහසක් ගෙවා චන්ද්‍රගුප්තව මිළට ගත්තේ ය. මේ දෙදෙනාගෙන් රජකමට සුදුස්සා තෝරා ගැනීමට චානක්‍ය කාලයක් ගත කළේ ය.


            චානක්‍ය විසින් නූලක බැඳි සුරය බැගින් ඔවුන් දෙදෙනාගේ ගෙලෙහි බඳින ලදි. දිනක් චන්ද්‍රගුප්ත නිදා සිටියදී චානක්‍ය පබ්බතට අභියෝගයක් කළේ ය. නින්දෙන් අවදි නොකර චන්ද්‍රගුප්තගේ ගෙල බැඳි සුරය තමන්ගේ අතට ගැනීම ය, ඒ. පබ්බතට එම අභියෝගය ජය ගැනීමට හැකි නොවූයේ සුරය ගලවා ගැනීමට උත්සාහ දරන විට හදිසියේම චන්ද්‍රගුප්ත අවදි වූ නිසාය. තවත් දිනක් පබ්බත නිදාගෙන සිටි අවස්ථාවක චානක්‍ය එම අභියෝගය කළේ චන්ද්‍රගුප්තට ය. චන්ද්‍රගුප්ත ඉතා පහසුවෙන් එම අභියෝගය ජය ගත්තේ එකම එක කඩු පහරකින් පබ්බතගේ ගෙළ සිඳලීමෙනි.


               චානක්‍යගේ උපදෙස් අනුව සංවිධානය වූ චන්ද්‍රගුප්තගේ හමුදාව කිහිප වරක්ම නන්දගේ අධිරාජ්‍යයට පහර දුන් නමුත් ඒ හැම අවස්ථාවකදීම ඔවුන්ට අත් වූයේ පරාජය ය. දිනක් නගරයේ වෙස්වලාගෙන සැරිසරන චානක්‍යට දරුවෙකුට බැණ වදින මවකගේ හඬ ඇසුණි. දරුවා සිය මව දුන් කැවුමක වටේ කොටස් විසිකර මැද කොටස පමණක් අනුභව කළේ ය. මව කිපුණේ ඒ ගැනය.


“උඹත් හරියට කැවුම් කන්නේ චන්ද්‍රගුප්ත යුද්ධ කරනවා වගේ. වටේ තියන බලකොටු අල්ලාගන්නේ නැතිව එක සැරේම ප්‍රධාන බලකොටුවට ගහනවා.” මව දොස් කීවා ය.


           චානක්‍ය වහාම තම වැරුද්ද අවබෝධ කර ගත්තේ ය. ඒ අනුව ඔහු මුලින්ම අවට ගම්මාන සියතට ගත්තේ ය. අවසානයේ රාජධානියේ අගනුවර වූ පාටලීපුත්තයට පහර දී එය සියතට ගත්තේ ය.            


           චන්ද්‍රගුප්තගේ මෞර්ය රාජවංශය බිහිවන්නේ එසේ ය. චානක්‍යගේ උපදෙස් අකුරටම පිළිපැද චන්ද්‍රගුප්ත ඝාන්ධාර එනම් වත්මන් ඇෆ්ගනිස්තානය ප්‍රදේශය පාලනය කළ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සෙන්පතියන් පවා යුද්ධයෙන් පරාජය කළේ ය.


            එක අතකින් කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය අමානුෂික ය. අනෙක් අතින් ප්‍රායෝගික ය. ඒ නිසාම ඔහු අමානුෂික බුද්ධිමතෙකු බව ඇතැම් විචාරකයන්ගේ පිළිගැනීම ය. ඔහු ඉතා විවෘතව ඝාතන කළ යුතු ආකාරය, රාජ්‍යත්වය වෙනුවෙන් පවුලේ සාමාජිකයින්ව මරා දැමීම, ඔත්තුකරුවන් හැසිරවිය යුතු අන්දම, අමාත්‍යවරුන්ගේ ඔත්තු සෙවීම යනාදී කාරණා කතා කරයි. නන්ද අධිරාජ්‍යා ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ ධනය සඟවා තිබූ තැන චානක්‍ය සොයා ගනු ලබන්නේ ධීවරයෙකුගේ මාර්ගයෙනි. ධනය සොයා ගත් විගසම චානක්‍ය එම ධීවරයාව මරා දමයි.


👉 බොහෝ දෙනා චානක්‍ය මකියාවේලීට සමාන කරන්නේ රාෂ්ඨ පාලනය සම්බන්ධ ඔහුගේ මෙකී දර්ශනය නිසාය.


🔺 චරපුරුෂයන් ගෝත්‍රතුලට වැදි එහි අභ්‍යන්තර ගැටුම් ඇවිලවීමේ හැකියාව ගෙන දෙන ඊර්ෂයාව, ද්වේශය  හා වෙනත් දෑ සොයා මනා සැලසුමකින් යුතුව ඔවුන් අතර ගැටුම් ඇති කළ හැකි විෂබීජ වපල යුතුය.


🔺 ආචාර්යවරුන් සේ වෙස්වලාගෙන ඔවුන් ගෝත්‍රයේ ප්‍රධානයන් කලකොලාහලවල පැටලිය යුතුය.


🔺 චෛත්‍යයන්ට හා පූජ්‍යස්ථාන වලට ඇතුළු වන දොරටුවල රන්භාන්ඩ හා රත්රන් තබා ගෝත්‍රයේ ප්‍රධානීන් තුල ලෝබය ලියලවිය යුතුය.


🔺 පිස්සු වට්ටන රූසපුවෙන් හා තාරුණයෙන් යුත් ගණිකාවක් හෝ නර්තන ලියන් පෙන්වා ප්‍රභූන් කාමයෙන් මත්කොට මුලා කළ යුතුය.


🔺 ගනිකාවක් විසින් ගෝත්‍ර ප්‍රධානියෙකු තමා පැහැර ගැනීමට පොලඹවා විනෝද උයනක් අසල තියුණු ආයුධයකින් පහර දී හෝ වස දී හෝ තමා  පැහැර ගෙන ගිය එකා මරා දැමිය යුතුය. ඊට පසු “අර අනිකා මගේ ආදරවන්තයා මැරුවා” යැයි කියමින් ඇය කෑ ගැසිය යුතුය.


🔺තවුසකු ලෙස වෙස් වලා ගත් චරපුරුෂයෙකු රාත්‍රි කාලයෙහි යට කී ලෙස කාමයෙන් මුසපත් කරන ලද ගෝත්‍රික නායකයෙකුට ස්ත්‍රින් වසඟ කිරීමේ බලය ඇතැයි කියා වස මිශ්‍ර කළ ආලේපන දිය යුතුය. එවිට ඔහු මැරී යනු ඇත. එහි යොදවන ලද වෙනත් චරපුරුෂයන් එය තරගකාරී නායකයෙකු කල දෙයකයැයි ප්‍රචාරය කළ යුතුය.


🔺 නක්ෂත්‍රයන් හා අන්‍යයන් ලෙස වෙස්වලාගත් ඔත්තුකරුවන් රාජකුමාරයාගේ කේන්ද්‍රයේ ගැබ්වන රාජයෝග හා වෙනත් රාජලක්ෂණ ප්‍රචාරය කළයුතුය. එනයින් ගෝත්‍රයේ අවංක නායකයින් ඒ හෝ මේ රජුගේ පුත්කුමරු යටතට මෙහෙයවිය යුතුය. මෙසේ නම්මවා ගැනෙන නායකයන් වෙත රජු ගවයන්, සේවකයන් හා වෙනත් ද්‍රව්‍ය තෑගි කොට යැවිය යුතුය. මේ අයුරින් ඔවුන් දිනාගත යුතුය.


👉චානක්‍යගේ තතු මෙබඳු කරුණු කිහිපයකට පමණක් ලඝු කළ හැකි නොවේ. ඔහු රජෙකුගේ යුතුකම් සහ වගකීම් ගැනත් ඒවා නොකිරීමෙන් ඔවුන්ට විඳින්නට වන බරපතල විපාකයන් ගැනත් ඉතා ගැඹුරෙන් කතා කරයි.

 

👇 නිදසුනක් ලෙස ඔහුගේ පහත අදහස් දැක්විය හැකිය.


🔺 ඔබේ රහස් අන් අය හා ඛෙදා නොගන්න. එසේ කිරීමෙන් ඔබේ අවසානය ඔබම ළඟා කරගන්නේ ය.


🔺 සෑම මිතුරකමක්ම පසුපස කවර හෝ පුද්ගලික අවශයතාවක් ඇත. එසේ නොවන මිතුරුකම් නැත. කටුක මුත් සැබෑ සත්‍යය එයයි.


🔺 සතුරාගේ දුර්වලකම් වටහා ගන්නා තුරු ඔහු සමඟ මිතුරුව සිටිය යුතු ය.


🔺 සතුරා කෙනෙකුගේ දුර්වලතා දැන සිටිය යුතු නැත. නමුත් ඔහු සතුරාගේ දුර්වලතා දැන ගත යුතුය. ඔබ ඔබගේ සැබෑ අභිප්‍රායන් සඟවාගෙන කටයුතු කළ යුතු ය. ඉබ්ඛෙකු තම අඟ පසඟ තම කටුව තුළම සඟවා ගන්නවාක් මෙනි.


               දැන් නැවතත් අපි අජාසත්ත රජු ලිච්ඡවින්ව පරාජය කළ ආකාරය කොතෙක් දුරට චානක්‍යගේ දර්ශනය හා සමපාත වේදැයි විමසා බලමු. මේ කරුණු සවිස්තරාත්මකව සඳහන් වන්නේ ජෛන පොත පතෙහි ය. අජාසත්ත රජු ගැන ජෛන සම්ප්‍රදායට අනුව දැක්වෙන තොරතුරු හා බෞද්ධ පොත පතෙහි දැක්වෙන තොරතුරු අතර සමානකම් මෙන්ම අසමානකම්ද ඇත.


              වස්සකාර ඇමති අවුරුදු තුනක් පමණ වජ්ජි දේශයේ සරණගතයෙක් මෙන් වෙස් වලාගෙන සැරිසරමින් වෛසාලිය ආක්‍රමණයට පසුබිම සකස් කළේ ය. අවසානයේ ඉතා භයානක සටන් දෙකක් ඇවිලී ගියේ ය. කෙසේ වෙතත් වෛසාලියේ නගර දොරටු ඉතා සවිමත්ව සාදා තිබුණි. අජාසත්ත රජුට ඒවා විනිවිද යාම ඉතා අසීරු විය. දින ගණනාවක් ගත විය. තවමත් අජාසත් රජු හිටි තැනමය. අවසානයේ අජාසත්ත රජු කුල්වකාල නම් තවුසා කරා මාගන්ධිකා නම් වෛශ්‍යාව යොමු කළාය. 

           ඒ කුල්වකාලගේ අනුගාමිකාවක සේ වෙස් වලාගෙන ය. ඇයට කුල්වකාල තම වසඟයට ගත්තා ය. කුල්වකාල මහණ දිවියට සමු දී ඇය හා විවාහ විය. ඉන්පසු ඇය කුල්වකාල ජොතිශ්‍යකරුවෙකු මෙන් වෙස් ගන්වා වෛශාලයට යවා මුනිසුවාරත නම් ජෛන ශාස්තෘවරයා වෙනුවෙන් ඉදිකර තිබූ අල්තාරයක් නිසා නගරයට බොහෝ විපත්ති ඇතිවන බව ප්‍රචාරයක් කළේ ය. 

          ලිච්ඡවිහු අවසානයේ එකී අල්තාරය කඩා දමන්නට පෙළ ගැසුණෝය. ඒ අවස්ථාවේදී කුල්වකාලගේ සංඥාවකට අනුව ක්‍රියාත්මක වූ අජාසත්ත රජුගේ හමුදාව බාල, තරුණ, මහළු බව නොබලා ලිච්ඡවීන්ව සමූල ඝාතනය කළහ. 


📌අවසානයේ කේලාම්, අභූත චෝදනා ආදී නොයේක් උපක්‍රම හරහා බිඳ වැටුණු පාලනයක් යුද්ධයකින් පරාජය කිරීම ඉතා පහසු බව පසක් කරමින් අජාසත්ත ජයගත්තේ ය.


          රටක් විනාශ කිරීමට ගත වන්නේ නිර්මාණය කරන්නට යන කලයට වඩා ඛෙහෙවින්ම අඩු කාලයකි. වැඩිම කාලයක් ගත වන්නේ රටක් හොඳින් පවත්වාගෙන යාමය.ඒ නිසාම රටක් පවත්වාගෙන යාම බුද්ධිමතුන්ට අයත් ය. ඉතිහාසය දන්නා, පැරණි සම්ප්‍රදායන් පවත්වාගෙන යන්නේ ඔවුහු ය. 


📌චානක්‍යද මේ බව කියයි. ඔහු කියන්නේ රජු ඉතිහාසය හොඳින් දැන සිටිය යුතු බවය. එමෙන්ම අන් අයගේ වැරදි වලින් පාඩම් උගත යුතු බවය.


☀️ හේතුව තමන්ම වැරදි කර පාඩම් ඉගෙන ගෙන රට පාලනය කිරීමට තරම් කාලයක් ඔහු ජීවත් නොවන නිසාවෙනි.


           වස්සකාර ඇමති බුදුන් වහන්සේගෙන් විමසා සිටින්නේ ලිච්ඡවීන්ව පරජය කළ නොහැකි මන්ද යන කාරණය ය. 

🙏එවිට බුදුන් වහන්සේ දේශනා කරන්නේ සප්ත අපරිහානී ධර්ම ගැන ය. සාමාන්‍ය අයෙකු නම් එබඳු ධර්ම ඇසූ විට කරන්නේ ඒවා අපේ ජීවිතවලටත් සම්බන්ධ කරගන්නේ කෙසේද යන කාරණය නොවේ ද? 

👉එහෙත් වස්සකාර ඇමති කල්පනා කරන්නේ ලිච්ඡවීන්ගේ දියුණුවට හේතුවන එකී යහපත් ගුණාංග විනාශ කර දමන්නට සුදුසු උපක්‍රම ගැනය.

👉 එසේ නම් යටි අරමුණු නොවිමසා සප්ත අපරිහානී ධර්ම වස්සකාරට කීමෙන් වරද කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ ද ?

🙏 එය එසේ විය නොහැකි ය. 

 📌 ඒ නිසාම වස්සකාර බඳු චරිත දෙස අප බැලිය යුත්තේ කුරුළු ඇසකිනි. එනම් අහසේ සිට පොළව දෙස බලනවාක් මෙනි. එසේ බලන කල්හි අපට චානක්‍ය අර්ථ ශාස්ත්‍රයේ කියූ එක් කරුණක් ඉතා පැහැදිලිව පෙනෙන්නේ ය.

        එනම්👇

             “සෑම මිතුරකමක්ම පසුපස කවර හෝ පුද්ගලික අවශයතාවක් ඇත. එසේ නොවන මිතුරුකම් නැත. කටුක මුත් සැබෑ සත්‍යය එයයි.”      

               යන්නය.

       පසුගිය කාලවකවනුවෙ ලංකා දේශපාලනයේ සිදුවූ සිදුවීම් දෙස විචාරවත්ව බැලූ විට ඊයේ (2022 මාර්තු 28)දෙරණ 360 වැඩ සටහනේ අවසන් පැනයට වික්‍රමසිංහයන් දුන් පිළිතුර තුළ ලංකා දේශපාලනයේ තත්වය එක් උත්තරයකින් දී ඇතිබව වැටහෙනු ඇත..එක වචනෙකින් ලංකාවේ අතීත වර්ථමාන අනාගත දේශපාලනය විග්‍රහ කරපු උත්තරයක්..

🔺 -කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය-


📌සබැඳි-

🌏දෙරණ 360 අවසන් ප්‍රශ්න දෙක- 

https://m.facebook.com/story.php?story_fbid=10227709918843628&id=1537473825


🌏 දෙරණ 360 සම්පූර්ණ වැඩසටහන-

https://youtu.be/Oa2vYumvKkw


(උපුටාගැනීම් අන්තර්ජාලය ඇසුරෙනි)


✍️

#මීරිගම_ඊෂණ

Sunday, March 20, 2022

🚩එදාවේලට ඇඟවිකුණන හයිටිය


     වර්ථමානයේ හයිටි රාජ්‍යය  ලෝකයේ දුප්පත්ම රටවල් අතරන් එකක් වන අතර අධික ණය බරින් හෙම්බත්ව සිටින රටකි.හයිටියේ දුප්පත්කම කොතරම්ද කිව්වොත් හයිටි ජනතාවගෙන් මිලියන 1.9 ක්ම ආහාර හිගයෙන් පෙලේ. ඒ රටේ ජනගහනයෙන් 60% වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ දවසකට ඩොලර් එකකටත් අඩු ආදායමකිනි. ඒ නිසාම මන්දපෝෂණයත් රක්ත හීනතාවයත් හයිටියේ සුලභ රෝග බවට පත්වී ඇත. ලෝකයේ වඩාත්ම කුසගින්නෙන් බැටකන රටවල් අතරින් හයිටිය 03 වෙනි ස්ථානයේ බව සදහන්වෙයි.


     නල ජලය හෝ ලිඳකින්, නල ලිදකින් වගේ ක්‍රමයකින් පිරිසිදු වතුර ලබා ගන්න හැකියාව තියෙන්නේ හයිටියේ ජනගහනයෙන් 50%පමණි. අනෙක් ජනතාව බීමට ගන්නෙත් ගංගාවල ඇල දොල වල ජලයය. ඒ වගේම මේ රටේ ජනගහනයෙන් සියයට අසූවක් පමණ ජනතාවට නිසි සනීපාරක්ෂක පහසුකම්  නැති අතර ඒ නිසාම පාචනය වගේ බෝවන රෝග වසංගත වලත් අඩුවක් නම් නැත.


        පාසැල් යන්නට අවස්ථාව ලැබෙන්නේ හයිටියේ දරුවන්ගෙන් 50% වගේ ප්‍රතිශතයකටය. එයිනුත් 30% වගේ ප්‍රතිශතයකට පස් වෙනි පන්තියෙන් එහාට පාසැල් යන්න තරම් වත්කමක් නැත. ඒ නිසාම හයිටියේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා සාක්ෂරතාවයෙන් තොර අතර  මේ හේතුවත් එක්ක හයිටියේ දුප්පත්කම තව සියවස් ගාණක් ඉදිරියට පවතිනු ඇත.


👉නමුත් හයිටියේ මිනිස්සු මේ තරම් දුප්පත්කමින් බඩගින්නෙන් පීඩා විදින්නෙ රත්තරන් වලින්, ඛණිජ සම්පත් වලින් පිරුණු පොලවක් මත ඉදගෙන කියලා දන්නවාද.? 


          හයිටියේ දුප්පත්කම සදහටම තුරන් කර, හයිටි රාජ්‍යය ලෝකයේ ධනවත්ම රටවල් අතරට එකතු කරන්න තරම් ප්‍රමාණවත් තරමේ රත්තරන් සහ අනෙකුත් ඛණිජ සම්පත් හයිටි පොලොවේ බහුලය.

නමුත් අදූරදර්ශී පාලනයත්, දූෂණයත් නිසාම හයිටියේ දියුණුවට වැට බැඳී දිනෙන් දින වලපල්ලට වැටෙමින් පවති. කෙසේ වෙතත් ඇමරිකානු ඩොලර් බිලියන විස්සක විතර වටිනාකම් ඇති රත්තරන් සමග  ලෝහමය අමුද්‍රව්‍ය, ඛණිජ සම්පත් උතුරු හයිටියේ පොලොවේ නිදන්ගතව ඇති බව ඇස්තමේන්තුගත කර ඇති අතර ඉතිහාසය පුරාම අධිරාජ්‍යය වාදීන් විසින් හයිටියේ ඛණිජ සම්පත් සූරාකෑමට ලක්කර ඇත. 


      නිදහස් කලු රාජ්‍යයක් බවට පත් වෙන්නට පෙර මුලින්ම ස්පාඥ්ඥයත්, ඉන්පසු  ප්‍රංශයත් හයිටියේ ඛනිජ සම්පත් කොල්ලකා ඇති අතර 1970 වර්ෂයේ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනින් හයිටි රාජ්‍යය  රත්තරන් නිධි හා ගුවන් යානා තැනීමට ගන්නා ටයිටේනියම් ලෝහ ඛනිජය බහුල රටක් බවට ප්‍රකාශ කර ඇත.


             එසේ අනාවරණය සිදුකලත්  සෘජු විදෙස් ආයෝජන එරටට නොලැබුන අතර ලැබුණු විදේශ ආයෝජනත් එවකට පැවති අදූරදර්ශී රජය විසින් අත්තනොමතික ලෙස ප්‍රතික්ෂේප කර ඇත.1990 දශකයේ අග භාගයේ සිට හයිටි පොලවේ රත්තරන් සහ  ඛණිජ ද්‍රව්‍ය සෙවීම සදහා කැණීම් කරන්නට ඇමරිකානු ඩොලර් මිලියන තිහක් වටිනා ආයෝජන ගලාගෙන ආ අතර ඇමරිකානු සමාගමක් වන Newmont Ventures Limited ඒ විදිහේ එක් රත්තරන් ආකර ආයෝජකයෙක් ලෙස පෙන්වාදිය හැකිය. නමුත් ඔවුන්ටත් දෙවතාවක්ම හයිටියේ රත්තරන් සෙවීම අත්හැර දමන්නට සිදුවූ අතර එයට හේතුව වූයේ හයිටියේ ඇති දේශපාලන අස්ථාවර බවයය.  



       හයිටියේ රත්තරන් සෙවීම සදහා මුදල් ආයෝජනය කිරීම එක්තරා ආකාරයකින් සූදුවක් වගේය.. දේශපාලන අස්ථාවර භාවය, දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ ගනු දෙනු වල විනිවිද භාවයෙන් තොර වීම හේතුවෙන්ම හයිටියේ රත්රන් ගවේෂණයෙන් ලැබෙන ප්‍රතිඵල ගැන විශ්වාසයක් තියන්නට නොහැකි බව ආයෝජකයින් පවසනු දක්නට ඇත.


          මෙවැනි තත්වය මත රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ප්‍රංශ අධිරාජ්‍යවාදයෙන් මිදී නිදහස්වු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වාසය කල රටකි. නමුත් මෙහි අදූරදර්ශී හා දේශපාලන අස්ථාවරත්වය මත තමන් විසින් තමන්ම වලපල්ලට ඇද දමාගෙන ඇති බව දක්නට ඇත.


        මේ තත්වය මත හයිටිරට කොල්ලකෑමට මාන බැලූ ධනවත් රාජ්‍ය දේශපාලනික වශයෙන් හයිටිය තමන්ගේ යටත් රාජ්‍යයක්‌ කර ගැනීමට ධනවත් රාජ්‍යන් දැරූ වෑයම හයිටියේ දේශප්‍රේමී ආණ්‌ඩුව විසින් පරාජය කරනු ලැබිණි. බල ලෝභීන්ගේ හා දුෂ්ට බලවත් රාජ්‍යයන්ගේ අත පෙවීමට එරෙහි වූ දේශප්‍රේමී හයිටි නායකයෝ තම රට රැක ගැනීමටත් රටේ ස්‌වාධීනතාවය පවත්වා ගැනීමටත් වෑයම් කළහ.


            ඉහත කී බලවත් රටවල නායකයන්ගේ කෑදරකම් හා ධන පිපාසාව ඉන් සංසිඳුනේ නැත. සිද්ධ වූණේ හුදෙක්‌ හයිටි රාජ්‍ය පාලනය පෙරලා දැමීමටත් හයිටිය කොල්ලකෑමටත් ඉන් අනතුරු ව හයිටිය විනාශ කොට පලිගැනීමටත් පිඹුරුපත් සැකසීම ය. මේ සඳහා සූක්‌ෂම උපක්‍රමයන් හා උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමට ඔවුහු සැලසුම් කළහ.


             📌ඉහත කී රාජ්‍ය බලය ලබාගැනීම, එමගින් ම කොල්ලකෑම හා රට වැනසීම යන ඉලක්‌ක තුන සම්පූර්ණ කරගැනීම සඳහා ක්‍රමයෙන් ඔවුන් එලූ දැල, ඔවුන් ඇටවූ උගුල හයිටිවාසීන්ට තවමත් වැටහෙන්නේ නැත. 


       එය නොවැටහෙන සේ කටයුතු කිරීමට ජන මනස ගොඩනැගීම ද උපාය මාර්ගයේ ම කොටසකි. අවසාන විග්‍රයේ දී රට වැසියා විසින් සිය රට විනාශ කළ යුතු ය. එය විනාශයක්‌ බවට ඔවුනට නොවැටහී තිබිය යුතු ය., නැතහොත් විනාශය සංවර්ධනයක්‌ සේ රටවාසීන් විසින් ම තර්ක කොට විවාද කොට පිළිගත යුතු ය යන්න උපාය මාර්ගයේ ම කොටසකි. මේ අනුව හයිටි වාසීහු අදටත් විනාශයේ අසිරිය නරඹති. විනාශයෙහි දී ඔල්වරසන් හඬ දී කති, බොති, නටති, ගයති, වයති, විනාශයේ ආශිර්වාදය ත්‍යාග කළ දෙවියන්ට ස්‌තුති කරති.


        මෙසේ කොල්ලකෑමට නම් ඊට එකඟ වන පාලකයකු සහිත පාලන තන්ත්‍රයක්‌ බිහි කළ යුතු ය.

ලොකු ලොකු රටවල්වලට සුවච කීකරු නොවන පාලකයන් පන්නා දැමිය යුතු ය. ඔවුන්ට නැවත බලයට පත්වීමට ඉඩ නොදිය යුතු ය. ඒ සඳහා රටවාසීන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු ය.

එකී දැනුම රටට යහපත් නොවන ආක්‍රමණිකයාට යහපත් වන දැනුමක්‌ විය යුතු ය. මෙම සැලැස්‌ම ප්‍රකාරව හයිටියේ දේශප්‍රේමී රාජ්‍ය පාලනය පෙරලා ආක්‍රමණිකයාට වලිගය වනා පස්‌ස ලෙවකන ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ආක්‍රමණික ධනවත් රටවලට හැකිවිය. ඊට විප්ලවය හො සුළඟ යෑයි නම් කළා දැයි මා දන්නේ නැත. 


          ඊළඟට රට පුරා බියර් දන්සැල් ඇරිණි. සුරාසැල් නිරතුරු ව විවෘත ව තැබිණි. මුලින් ම සුරාසැල් විවෘත ව තැබීමේ කාලය දිගු කිරීමේ යෝජනාව ගෙනෙන්නට ඇත. ඊට පාර්ලිමේන්තුවාසීන් අත උස්‌සන්නට ද ඇත. හයිටියේ කාන්තාවන්ට සුරාපානය සඳහා තිබුණ තහනම ඉවත් කෙරිණි. රටපුරාම ලාබම බීම අරක්‌කු බීම බවට පත් විය. දුම්වැටි ඊට ප්‍රබල විය. (ලංකාවට පැමිණි සුද්දන්ගේ මුල් ම උපක්‍රමයක්‌ වූයේ ද මෙය ය.) මින්පසු ස්‌ත්‍රීහු ද පුරුෂයෝ ද තරුණ තරුණියෝ ද දරුවෝ ද නිරතුරුවම බීමත් ව සිටිය හ.


✳️සුරා පානය තහනම් ය යන නීතිය ඉවත් කෙරිණි. එය පාර්ලිමේන්තුවේ විප්ලවවාදී පක්‌ෂවල ද සහයෝගයෙන් තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මතවූවා දැයි මා නොදනී.


          ඉන් අනතුරු ව ආක්‍රමණිකයාට හිතවත් පාලකයින් කළේ ඉතා කුඩා ව්‍යවස්‌ථා සංශෝධනයකි. ඒ අනුව සෑම දරුවෙක්‌ ම අනිවාර්යයෙන් ම පාසල් යා යුතු ය යන කොන්දේසිය ඉවත් කෙරිණි.

ඒ සමග ම පාසල් නිළ ඇඳුම අනිවාර්යය වේ යන කොන්දේසිය ද ඉවත් කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ දහස්‌ ගණන් දරුවන් අධ්‍යාපන අත්හැර දැමීමය. පාසැල් යන්නවුන් ද නොයන්නවුන් මෙන් පෙණිනි. ළමා අයිතිවාසිකම් බල ගන්වමින් ද තරකරමින් ද ඒ පිළිබඳ දරුවන් පමණ ඉක්‌මවා දැනුවත් කරමින් ද ළමා අයිවාසිකම් පිළිබඳ පුළුල් ප්‍රචාරයක්‌ ලබා දුනි.


         දරුවන්ගේ ම යහපත උදෙසා කුඩා කුඩා දඬුවම් ද කළ ගුරුවරුන්ගේ වැඩ තහනම් කෙරිණි. ඔවුනට එරෙහි ව නඩු පැවරිණි. දරුවන්ට පක්‌ෂපාත නොවූවා වූ ද වැරදිකරුවන්ට දඬුවම් කළා වූ ද පොලිස්‌ නිලධාරීන්ගේ ද වැඩ තහනම් කෙරිණි. මින් සංතෘප්තියට පත් තරුණ දරුවෝ ද දැරියෝද වල්බූරු නිදහසේ සුවය වින්ද හ.


        නිල ඇඳුම් ද විරහිත පාසල් දරු දැරියෝ පොපියන චමත්කාරයේ ආස්‌වාදය වින්දේ මහ දවල් එළිපිට ය. සාමාන්‍යයෙන් හයිටි වාසී කාන්තාවෝ ඇඳුමට දක්‌වන්නේ අඩු උනන්දුවකි. ස්‌ත්‍රීහු ද පුරුෂයෝ ද සැම විට ම කමින්, බොමින්, නටමින්, ගයමින් විනෝදයෙන් ම කල් ගෙවති.


              සියලු ම වර්ගයේ ලිංගික වෙබ් අඩවිවල නිදහසේ සැරිසැරීමට ඉඩ ලබා දී බහුල භාවිතයක්‌ එනතුරු අඩු මිල ගණන්වලට ඒවා සැපයීම සිදුකෙරිනි. ඒ තරුණ තරුණියෝ අද මැදිවියට පත් ව සිටිති. නිරුවත ඔවුන්ට සාමාන්‍ය ය. සුරාව සාමාන්‍ය ය. මත් ද්‍රව්‍ය ද සාමාන්‍ය ය. ඒවාට එරෙහි වන නීතිය දුර්වල ය.


             එහෙත් හයිටිවාසීහු මේ විනාශයේ ආස්‌වාදය ස්‌වෙච්ඡාවෙන් විඳිති. කති, බොති, නටති, ගයති, වයති, අප රටේ සතුන්ගේ හැසිරීම මෙන් ඔවුගේ පවුල් ජීවිත ගත කිරීම ද නිදහස්‌ ය. මග දෙපස මහමග දවල් විවෘත ව ලිංගික ව හැසිරෙති. කන්න බොන්න නැතත් තමන්ගේ ආතල් එක ගනිති.ඒවා සාධාරනීකරනයද කරති.මෙසෙ කෙලවී හොම්බෙන් ගොස් සිටින ජාතිය දෙස ඔවුන් බලන්නෙ පොර මානසිකත්වයෙනි නමුත් ඒ දෙස විමතියෙන් බලන්නෝ හුදෙක්‌ විදේශිකයෝ වෙති.


             කුමන්ත්‍රණ සැලැස්‌මේ ඊළඟ යෝජනාව වූයේ අඩුමිලට සෞඛ්යට අහිතකර ආහාර ලබාදීමය.එහි ප්‍රථිපලය මේ වන විට ගැහැනු සුවිශාල වට්‌ටක්‌කා ගෙඩි මෙන් ස්‌ථූලභාවයෙන් පෙළෙති. පිරිමිහු ද තරබාරු ව සිටිති. අඩි හයක්‌ ව පමණ උස ව සිටි නිරෝගී ආරෝහ පරිණාහ දේහ සම්පත්තියක්‌ සහිත හයිටිවාසීන්ගෙන් අති බහුතරයක්‌ දියවැඩියාවෙන් ද හෘදරෝගවලින් ද අස්‌ථි දුර්වලතාවයෙන් ද පෙළෙති.


           කණගාටුවට තවත් කරුණක්‌ නම් 90% කට අධික පිරිසක්‌ ඒඩ්ස්‌ රෝගීන් වීම ය. වයසින් අවුරුදු 100 කට ආසන්න කාලයක්‌ දීර්ඝායුෂ වින්ද හයිටිවාසීන්ගේ අද ආයු කාලය අවුරුදු 45 ක්‌ 50 ත් අතර වේ. නිරෝගී ජාතියකට සිදු වූ විපත. හිතුවක්‌කාර අදූරදර්ශී අස්ථාවර දේශපාලන ක්‍රමෝපායන් නිසා අද හයිටිය යනු මිහිපිට අපායකි.


        මේ කී සියල්ල අපට දැනට ද ආගන්තුක නමුත් ඇතැම් කාරනා පුරුදු ගතියක් හිතට දැනෙනු ඇත.ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් මේ සශ්‍රීක දිවයින තුල තිබෙන්නේ මොනවාදැයි මා අතිශෝක්තියෙන් නොකියමි.මේවනවිට අපවෙත ආදරයෙන් උකසට ගෙන ණයදුන් වරායන්,භූමිය , වෙනත් මර්මස්ථාන චීනයට සින්නවීමට ආසන්නව පවතින කාලයක ශ්‍රී ලංකාවේ සිද්ධ වෙමින් පවතින්නේ කුමක්‌දැයි දකින්නට මේ බඳු වූ පූර්වාදර්ශ ඉතා වටී. 


✍️ #මීරිගම_ඊෂණ

Friday, March 11, 2022

මංගල හස්තියා

 🇱🇰ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ   

👑අභිනව මංගල හස්තියා..

---------------------------------------------

📌මංගල හස්තිරාජයා සබැඳි ඉතිහාසය

          ශ්‍රී ලංකාවේ කුල 10කට අයත් අලි ඇතුන් දිවි ගෙවන බවට පැරැණ්නන්ගේ විශ්වාසය විය.කලාවන, ගංගය, තබර, පිංගල, පණ්ඩල, මංගල, ගණ්ඩ, හේම, උපෝසථ, සද්ධන්ත එම කුලයන් වන අතර #සද්ධන්ත කුලය උසස් ම කුලය ලෙස හැදින්වේ.

           අතීතයේ පටන් මෙරට අලි ඇතුන් සංස්කෘතික හා ආගමික වශයෙන් විශාල වැදගත්කමක් අත්පත් කොට ගෙන ඇත. විජය රජුගෙන් ඇරඹි සිංහල රාජවංශයේ වනයෙන් අල්ලා ගත් ඇතෙකු හීලෑ කිරීම අරම්භය කුමන රජෙකුගේ කාලයේ ආරම්භ වූවා දැයි මහාවංශයේ නිශ්චිතව සදහන් කර නොමැත. නමුත් විටින් විට ඉන්දීය කුමාරිකාවන් සරණපාවා ගත් රජවරුනට දෑවැදි ලෙස රන්, රිදී, මුතු, මැණික් සමග හීලෑ අලි ඇතුන් ද ලැබී ඇති බවට විවිධ අවස්ථා වල සදහන් වේ.

           සිංහල රාජාවලිය පුරාම රාජකීය මංගල හස්තියාට රාජධානියේ සුවිශේෂී ස්ථානයක් හිමිව තිබූ බව පෙනේ. උරුමකරුවෙකු නොමැති ව රජු මියගිය විට දී අරාජික වන රටට නව පාලකයෙකු තෝරා ගැනීම රාජකීය මංගල හස්ති රාජයා විසින් සිදු කළ බව ඉතිහාසයේ සදහන් වේ. රාජකීය මංගල හස්තිරාජයා පිට නැගි රජු වීදි වල සැරිසැරූ බවත් රාජකීය උත්සව සදහා මංගල හස්තියා යොදාගත් බවත් ඉතිහාසය පුරා සදහන් වන අතර රාජකීය ඇත්ගාල පිළිබදව ද ඒ ආකාරයට ම සටහන් ඇත.

     මංගල හස්තීන් සම්බන්ධ රසවත් පුවත් සිංහල රාජාවලිය පුරා ඇසිය හැක. ක්‍රි.ව.37 දී ඉලනාග රජුගේ රාජ පාලනයට එරෙහි වූ රටවැසියන් කැරළි ගැසීමට පෙළඹුණි. රජු තිසා වැවේ ජල ස්නානය කරමින් සිටින අතර රාජ්‍ය බලය අල්ව ගත් සතුරන් රජුව සිරකරනු ලැබිය මෙහිදී රජුගේ බිසවගේ අනු දැනුම ඇතුව රාජකිය ඇතු මෙහෙයවා රජුව සිරකරතබාගෙන සිටි සිරගෙය කඩා රජුට පැනයාම සදහා කටයුතු සලස්වා ඇත මලය රටින් නැව් නැගී රජු තුන් අවුරුද්දකට පසු සේනාව ගෙන රුහුණු රට අකුරුගොඩ නම් නැව් තොටෙන් ගොඩ බැස ඇත. අකුරුගොඩ යන ස්ථානය අද සීනිගම දෙවොල ඇති ස්ථානය බවට‍ මතයක් ඇත පසුව සටන් කර රාජ්‍ය බලය ලබාගත් බව සදහන්වේ මගුල් ඇතුට කෘතගුණ සැලකීමක් ලෙස ඇතා සිටි පෙදෙස ජනපදයක් ඇති කොට එය හස්තු බෝග නමින් නම් කල බව පැවසේ.

        ඉතිහාසයේ සදහන් වන ඉහළ ම ජනතා ප්‍රසාදය දිනාගත් මංගල හස්තියා දුටුගැමුණු රජුගේ කඩොල් මගුල් ඇතු ය. එළාර රජුගේ මංගල හස්තියා වන මහා පබ්බත ඇතා පිළිබදව ද ඉතිහාසයේ බොහෝ තැන් වල සදහන් වේ. කඩොල් ඇතු යුද්ධයේ දී ක්‍රියා කළ අකාරයත් ඔහුගේ චරිත ලක්ෂණත් ඉතිහාසගත ග්‍රන්ථවල ඉහලින් වර්නනා කොට ඇත. පුරාවෘත්තයන්ට අනුව රාවණා රජුට ගර්ජන නමින් මංගල හස්තියෙකු සිට ඇත.

        දෙවෙනි පෑතිස්‌ රජු මහමෙව්නා උයන සඟ සතු කොට පිදීමේදී මගුල් ඇතා ලවා නගුලකින් මායිම් ලකුණු කල අන්දම මහා වංශයේ විස්තර වන අතර දඹුලු විහාරයේ බිතුසිතුවම් වල සිතුවම් කර ඇත පොළොන්නරුවේ රජ කල මහා පැරකුම්බා රජු ද අලාහන පිරිවෙනට ගම්බිම් පවරා දීමේදී මෙලෙස කටයුතු කල බවට‍ චුල වංශයේ සදහන් වේ.

         1 වන කාශ්‍යප නොහොත් සිගිරි කාශ්‍යප රජු 18 අවුරුද්දක් ගෙවී ගිය තැනදී සොහොයුරා වන මුගලන් කුමරු සේනා ගෙන යුද්ධයට පැමිණ ඇත මේ අතර මගුල් ඇතු පිට නැගී යුද්ධය සදහා පැමිණි කාශ්‍යප රජු සිය ගමන් මගේ ඉදිරියෙන් තිබු මඩ වගුරක් මගහැරීම සදහා එයට පිටු පා එය මගහැර යාම සදහා මගුල් ඇතු හැරවිය මෙහිදී රජු පරාජය දැක පසු බසින බව සිතු සේනාව හිස් ලු අත දිවිය සතුරා අතට පත් වීමට වඩා සිය දිවි තොර කරගැනීම යහපතක් ලෙස සිතු රජු මගුල් ඇතු පිට සිටියදීම කඩුවෙන් ගෙල සිදගත්තේය .        

📌මෑත ඉතිහාසය

----------------------------

       වර්ථමානය වනවිට  සම්ප්‍රධායනුකූලව සධාතුක කරඬුව වැඩම කළ යුත්තේ එහී පූජනීයත්වය හා ගෞරවය ආරක්ෂා කෙරෙන පරිදිය. ඒ සඳහා තොරා ගන්නා හස්ති රාජයෙකුට හත්වැදුම් පොළ පිහිටා තිබිය යුතුය. එනම් සතර පා, හොඩය, ලිංගය හා වලිගය භූමිය ස්පර්ශ වන ආකාරයෙන් පිහිටීමයි.එපමණක් නොව මෙවැනි මංගල ඇත් රජකු වෙත පුළුල් කුඹුතල, පුළුල් පිට, උදාර ලීලාව හා තේජාන්විත දළ යුග්මය ආදී ගුණාංගද පිහිටිය යුතු වේ

                දළදා මාලිගාවේ ගජනායක නිලමේ, කාරියකෝරාල හා ඇතුන් සම්බන්ධ කටයුතු කරන අනෙකුත්  සියළු දෙනා එක්ව මෙවැනි ලක්ෂණ වලින් සමන්විත හස්තිරාජයෙකු තේරීමට කටයුතු කරති. විශේෂයෙන් පරිණත වයසට එළඹි ඇතෙකු මේ සඳහා තෝරා ගනී.

               ඉතිහාසයේ ඇසළ පෙරහැර සඳහා මංගල හස්තියා තේරීමේ දී රජුගේ නිල ගමන් බිමන් සඳහා යොදා ගත් මඟුල් ඇතා හා යුධ කටයුතු සඳහා යෙදවූ ඇතුන් ඒ සඳහා තෝරා ගනු ලැබුයේ නැත.

              රජුගේ ඇත් පන්තියේ ඒ වෙනුවෙන්ම ඇතෙකු වෙන්කිරීම සිදු කෙරිණි. සිය හාම්පුතා සම්බන්ධ ලැදියාව, ප්‍රචණ්ඩ ඇතෙකු නොවීම, මිනිසුන් මරා නොතිබීම ආදී කාරණා ද මංගල ඇත් රාජයෙකු තේරීමේ දී සැලකිල්ලට ගනු ලැබේ දළදා පෙරහැර සධාතුක කරඬුව වඩම්මන ඇතුන් හත්වැදුම් පොළ පිහිටා ඇති ඇතුන් විය යුතුයැයි සම්මතයවන අතර ඊට අමතරව පුළුල් කුඹස්තලය, පුළුල් පිට ,උදාර ගමන් විලාශය සහ තේජාන්විත දළ යුග්මයද සලකා බැලේ.

              කිත්සිරිමෙවන් රජ දවස තෙක් දිවෙන දළදා පුරාණයේ මුල්ම දළදා වහන්සේ වැඩමවූ ඇතු ලෙස 🚩අයිරාවණ නම් ඇතෙකු ඉතිහාස ගත වී ඇත. ඉන් පසු සතුරු ආක්‍රමණ නිසාවෙන් මෙම ඇතුන් පිලිබඳ පමණක් නොව දළදා පෙරහැර පිලිබඳ ඉතිහාසය ද සැඟව යයි.

             නූතන දළදා පෙරහැර ඉතිහාසය විමසද්දී එහි අපට මුණ ගැසෙන සධාතුක කරඬුව වැඩමවූ

🚩පළමු ඇතු ලෙව්කේ වලව්වේ ඇතු ය. 

🚩 මාතලේ වෑගඩපොල වලව්වේ ඇතු  

🚩පානබොක්කේ වළව්වේ දළ කොට ඇතු

🚩මහයියාවේ රත්වත්ත වලව්වේ ගෝමර ඇතු 

🚩ඉඩම්පිටියේ ඇතු.

        නූතන මංගල හස්තීන් ලෙස ඉතිහාසගතව ඇති අතර ඉඩම්පිටියෙ මංගල හස්තියා ගෙන් පසුව


🚩 බෝසත් රාජා

---------------------------- 

               සධාතුක කරඩුව වැඩමවූ ඇත්තු අතර සුවිශේෂී තැනක් හිමි කරගත් දළදා මාලිගාවේ ඇත් පන්තියේ රාජා ඇතු ඉන් පසුව එම සත් කාර්‍ය්ය දීර්ඝ කාලයක් ඉටුකොට තිබේ.1937 වසරේ සිටම මැනවින් එම කාර්‍ය්ය ඉටුකල රාජා 1986 වසරේ අසනීප වන තෙක්ම එම වගකීම දරා තිබේ.


🙏1986 වසරේ අගෝස්තු 26 වනදා ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම විධායක ජනාධිපති ජේආර් ජයවර්ධනයන් විසින් 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු මංගල හස්තියා ලෙසත් ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්ති නායක බෝසත් රාජා ජාතික වස්තුවක් බවට නිල වශයෙන් ප්‍රකාශ කළේය.එතැන් පටන් ශ්‍රී දළදා කරඬුව වඩම්මන්න ජේෂ්ඨතම මංගල හස්තියා

☸️ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මගුල් ඇතු ලෙස ප්‍රකාශ වූ අතර මුල්වරට එම භාග්‍ය උදාවූ බෝසත් රාජා ඇතු එවන් ඇගයීමක් ලද ලොව දෙවන හස්තියා ලෙස ඉතිහාස ගතවී ඇත. (පළමු තැන කෙන්යාවේ "අහමඩ්" හස්තියාට හිමිවේ.)


🐘බෝසත් රාජා ඇතුගෙන් පසුව 

🚩හෙයියන්තුඩුවේ රාජා, 

🚩මිල්ලන්ගොඩ රාජා , 

🚩වෑවලදෙණියේ ඇතු , 

🚩ගංගාරාමයේ නවම් රාජා, 

🚩රත්නපුර මහ සමන් දේවාලයේ ඇතා 

🚩මාළිගාවේ ඇත් පන්තියේ නායක ඉන්දි රාජා ඇතුද එම සත්කාර්‍ය්ය ඉටුකර තිබේ. 

🚩එහෙත් මාළිගාවේ බෝසත් රාජා ඇතුගෙන් පසු වැඩිම වරක් කරඬුව වැඩමවූ මෙන්ම වැඩිම ගෞරව ආදරය දිනාගත් හස්ති රජු ද වන්නේ නැදුන්ගමුවේ රාජාය. බෝසත් රාජාට පසු වැඩිම ගෞරව ආදරය හිමිකරගත් නැදුන්ගමුවේ විජය රාජා මංගල හස්ථියාගේ අභාවයත් (2022/03/07)සමඟ


👉ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව මංගල හස්තියා ලෙස නම් වන්නෙ,

👉වර්ථමාන(2021) උප ප්‍රධාන මංගල හස්තියා ලෙස නැදුන්ගමුවේ රාජට කටයුතු කළ 

ශ්‍රී දළදා කරඬුව වැඩම වීම හා ඉහත සඳහන් මගුල් ලකුණු වලින් පරිපූර්ණ 

👉රුහුණු මහා කතරගම දේවාලයේ

වාසනා හස්තියාය.

👑  2022 වසරේ සිට ඉදිරියට 

ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මංගල හස්තියා ලෙස කතරගම වාසනා කිරුළු පළඳින්නෙය.


📌අභිනව ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කතරගම වාසනා ඇත් රජු

----------------------------------------------------------------------

          නැදුන්ගමුවේ විජය රාජා ඇත්රජුගෙන් පසු එම තනතුර හිමි වන්නෙ කතරගම මහ දෙවොලට අයත් වාසනා ඇතුටය.1978 වර්ෂයේදී විමලා කන්නන්ගර මැතිනිය විසින් රුහුණු මහා කතරගම දේවාලය පූජා කොට ඇති අතර එතැන් පටන් අද දක්වාම මෙම ඇතු රුහුණු මහා කතරගම දේවාලය බාරයේ සිටියි. ඉතා ආකර්ෂණීය මෙන්ම තේජන්විත පෙනුමකට සහ අලංකාර දල යුවලකට හිමිකම් කියන වාසනාට දැනට වයස අවුරුදු 48 ක් උසින් අඩි 11ක් පමණ වේ.


          රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දින 15 ම තනිවම දේවාභරණ වැඩම කිරීමේ කාර්‍ය ඉටු කරයි. මහ නුවර ඇසළ පෙරහැර මංගල්‍යයයටද නැතුවම බැරි  ඇතකු ලෙස වාසනා හැදින්විය හැකිය. වසර 14 පසු වාසනා හස්තියා 2019 වසරේ මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැරේ සදාතුක කරඩුව වැඩවීම විශේෂත්වයකි. අලි භාෂාව පමනක් නොව අප සාමාන්‍ය එදිනේදා කතා කිරීම සඳහා භාවිතා කරන භාෂාව හොඳින් වටහා ගන්නා මොහු තියුණු බුද්ධියක් ඇති පිංවත් හස්තියෙකි.

 

               බුදුවීමට පෙරුම්පුරන බෝසත්වරුන්ගෙ ආත්ම භවයන් ලෙස සැලකෙන මගුලැතකු වීමේ භාග්‍ය මෙවර කතරගම වාසනා ඇතුට හිමිවී ඇත.

බෝසත් රාජාට, නැදුන්ගමුවේ විජය රාජා වැනි රටක් වන්දනාමාන කළ,ආදරය ගෞරව කළ පරිනත ඇතෙකු ලෙසත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මංගල හස්තියා ලෙස දළදා වහන්සේට පුද පූජා පවත්වා පිං රැස් කරගැනීමට හැකි ඇත් රජෙකු ලෙසත් හීලෑ දළ ඇතුන් 100කට පමන සීමා වී ඇති යුගයක ලක්දිව හස්තිරාජ පරපුර ලෝව පතල කරමින් චිරාත් කාලයක් වැජඹේවායැයි ගෞරව ආදරයෙන් යුතුව පතමි...



(සියලු දත්ත අන්තර්ජාලය ඇසුරෙන් හා මා විසින් සොයාගත් තොරතුරු එක්තැන් කර සකසන ලද ලිපියක බවත්,ඕනෑම අයෙකුට දැනුමට යමක් එකතු වෙවායි පතමි)


🌏සබැඳි - 

👉2021 ඇසල මංගල්‍ය- මංගල හස්ථීන්-

https://m.facebook.com/story.php?story_fbid=10219824290018203&id=1248487626


👉රජ තුන්කට්ටුව -

https://m.facebook.com/story.php?story_fbid=10220811837506273&id=1248487626


👉 නැදුන් මුහුණ දුන් අවසන් අභියෝගය -

https://www.facebook.com/1248487626/posts/10219896699508395/


👉 නැදුන්ගමුවේ විජය රාජා -

https://m.facebook.com/story.php?story_fbid=10220810166984511&id=1248487626


👉වාසනාට ත්‍රස්ත ප්‍රහාර දෙකක්-

https://www.facebook.com/1248487626/posts/10219918783380478/


✍️_________________

#මීරිගම_ඊෂණ #කතරගම_වාසනා #මංගල_හස්තියා