දිවි දුන් මා හට පොවමින් සෙනෙහස් දිය කලතා
සවියෙන් පෙරමග දකිමින් යන්නට නැණ පාදා
සිහිනෙන් වුවද හඩනා විට දුවවිත් මා නළවා
අදවන් දිනෙක නමදිමි අම්මේ පළමුව ඔබේ දෙපා
සෙවනැලි මැකෙන රෑ තුන්යම සෙවනැල්ල වෙලා
මැසිවිලි නොකර මා හින්දා බැරි බර කර තබලා
ඉවසිලි වන්ත කම දිවියට ඉස බෝසත් ගුණ මවලා
පියාණනි අවසර කරනට ඔබෙ දෙපතුල පිණිපා
කටු කොහොලින් පිරි ගොරසැඩි මාවත ගමන යන
නෙතු නිති යොමා හදුනා යහපත හැමදා කියා දෙන
සතු හැම දැනුම ලොභ නැති සිත පෙරටුව දන් පුදන
විදු නැණ පාදවා මා හැදු ගුරුවරු වදිනෙමි බැතින
කැකුළු මල් පිපී සුවදින් නැළවෙන ලස්සන හිමිදිරි උදයේ
කුරුලු පැටව් තිදෙනෙකු ලෙස අප නිවසේ එක්වී සිටියේ
සොයුරු පෙමින් වෙලෙමින් අත් අල්ලා සිටි පෙර සතොසේ
සයුරු ඉමෙන් අද එන මිහිරිම පැතුමක සුපුරුදු ස්වරය ඇසේ
සැපට දුකට ඉරයි හදයි සේ පායා
සිතට සතුට දෙන දේ නිබදව පුරවා
කදුල සුසුම පිස සැමවිට සිනහව කැදවා
යහළු යෙහෙළි සුබ පැතුමන් එක් කෙරුවා
තෑගි බොහොම ලබන දිනේ - සිත සන්තෝෂයෙන් පිරේ
හිරු බසිනා හැන්දැවේ - මෙය මට අද සිහි වුයේ
තව වසරක් හනි හනිකට
ගෙවී ගොසින් හොර හොරාට
පොදි බෑද හොයනා සතුටට
කල් මදිවෙයි හෙට දිනයට
බෝ මැඩ හිද සිල් සුවදින් සිත් පහදා
සිතිවිලි යට කොට වැලි මළුවේ පාගා
මැසිවිලි නිතර කියනා සිත සිර කරලා
හෙට දින ලොව දිනමි ගැට සේරම ලිහලා
No comments:
Post a Comment